කැරලිකරුවකුගේ ක්‍රිකට් ජීවිතය

 ඡායාරූපය:

කැරලිකරුවකුගේ ක්‍රිකට් ජීවිතය

ද්විත්ව පුරවැසි භාවය හිමි ඕස්ට්‍රේලියානුවා

ස්ටීවන් ස්මිත් කැරලිකරුවෙකි. ඔහුගේ මෙතෙක් දිගහැරුණු කෙටිකාලීන ජීවිතය පුරා ඇත්තේ එකී කැරලිකාරී භාවයමය. එමෙන්ම ඔහුගේ ජීවිතය පුරා අනුවර්තනය වීම් බොහොමයක් දැකගත හැකිය. පසුගියදා සිදුවූ පන්දුව පළුදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ හඬා වැටෙමින් සමාව ඉල්ලා සිටියේද පුනරුත්ථාපනීය කුසලතාව, වටහා ගැනීමේ නුවණ හා අනුගත වීමේ ශක්‍යතාව හේතුවෙනි. ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ ගොඩනැගීම තරුණයකුගේ කැපවීමේ ස්වභාවය සම්බන්ධයෙන් උද්ධෘතයක් බඳුයැයි “ද ජර්නි ස්ටීවන් ස්මිත් - මයි ස්ටෝරි ප්‍රොම් බැක්යාර්ඩ් ක්‍රිකට් ටු ඕස්ට්‍රේලියන් කැප්ටන් ” - යන නමින් බ්‍රයන් මුර්ගාට්‍රොයිඩ්ගේ කෘතිය පරිශීලනය කරද්දී අවබෝධ වෙයි. අප එය සිංහලට අනුවර්තනය කර ‘රැස’ පුවත්පතේ බදාදා දිනයන්හිදී කොටස් වශයෙන් ගෙන එන්නේ එය ‍යෞවනයන්ගේ ජීවිතාදර්ශයක් ලෙස සැලකිය හැකි බැවිනි.

අප පන්දු රැකීමේ පුහුණුව ක්‍රීඩාවක් ආකාරයෙන් කරද්දී බීම කෑනයකට එල්ලවන ලෙස පන්දුවෙන් පහර දෙන පුද්ගලයාට ලකුණක් ප්‍රදානය කෙරුවෙමු. යම් හෙයකින් ප්‍රතිවාදී ක්‍රීඩකයා විසින් එල්ල කරන පන්දුවක් බීම කෑනයේ නොවැදුණේ නම් අනෙක් පස ක්‍රීඩකයාට ලකුණක් හිමිවිණි. මෙය අපූරු පන්දුරැකීමේ පුහුණුවක් විය. එමගින් ඔහුගේ හැකියාවන් මනාව ගොඩනැංවුණේය. මේ අතර පසුගිය වසරේදී අපූරු සිදුවීමකට මම මුහුණ දුන්නේ නිවසේ පිටුපස කොටසේ සිදුකළ එළි පෙහෙළි කිරීමකදීය.

එහි මායිමේ පඳුරු ගොන්නක් යට සැඟවී තිබුණු පැරණි පන්දුවක් මට සොයාගැනීමට හැකිවීම අතීත මතකයන් යළි සිහිකැඳකීමක් වැනිය. එය එලෙස පඳුරු ගොන්න අතර සැඟව තිබූ කාලය වසර 10ක් හෝ 15ක් වන්නට ඇතැයි සිතෙද්දී මට සිතාගැනීමටත් අසීරුය. එකල අප සිදුකළ පුුහණුව හා ඒ පුහුණුවෙන් පසු ස්ටීව් ගමන් කර ඇති දුර කුමක්දැයි මට සිහිපත් වද්දී ඇතිවන්නේ මිශ්‍ර ඵල සහිත හැඟීම් සමුදායකි.

ස්මිත්ගේ කතාව

අවුරුදු 17 -18 වද්දී මට ජීවිතය සම්බන්ධයෙන් තීරණාත්මක සන්ධිස්ථානයකට මුහුණ දීමට සිදුව තිබිණි. මගේ අධ්‍යාපනය දැන් උසස් අධ්‍යපානයක් බවට වර්ධන කරන්නේද එසේත් නැතහොත් එය ක්‍රීඩාව වෙත හමායන සුළං ප්‍රවාහයට ඇතුළත් කරන්නේද යන්න පිළිබඳවය. එය එතරම් ලෙහෙසි පහසු තීරණයක් වුණේ නැත. මට අවශ්‍ය වුණේ නිව් සවුත් වේල්ස් කණ්ඩායමට ක්‍රීඩා කර පසුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ඇතුළත් වීම පමණි. එසේ නොවන්නේ නම් එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමකට ඇතුළුවීමට මට අවස්ථාවක් විවරව තිබිණි. එහිදී සරේ ප්‍රාන්තය වෙත වැඩිවශයෙන් එම අවස්ථාව උදාවී තිබුණු බව මගේ අදහසය. එලෙස ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවී එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මට අවස්ථාවක් පැවතුණු බව මම දැන සිටියෙමි. එය එසේ වූයේ මගේ මව වන ගිලාන් එංගලන්තයේ පුරවැසි භාවය සහිත කාන්තාවක වීම හේතුවෙනි. ඒ අනුව මටත් උපතින්ම මෙම ද්විත්ව පුරවැසි භාවය හිමිව ඇත.

මේ හේතුවෙන් සරේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර වාර්ෂිකව පවුම් තිස් දහසක කොන්ත්‍රාත්තුවකට අත්සන් තැබීමට මට අවස්ථාවක් උදාවිණි. එම කොන්ත්‍රාත්තුවට අනුව වසර තුනක කාලයක් ඔවුන් සමඟ ක්‍රීඩා කරන්නටද මට අවස්ථාව හිමිවේ. එම කාල සීමාව තුළම ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මට අවස්ථාවක් උදාවූයේ ඕස්ට්‍රේලියානු ඩොලර් දොළොස් දහසකටය. එහෙත් මගේ හදවත මට කීවේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කෙරුවද අන්තර්ජාතික තරග වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරන්නට කටයුතු කරන ලෙසය.ඊට හේතුව වූයේ මා හැදී වැඩුණු, ක්‍රීඩකයකු වශයෙන් වර්ධනය වුණු පරිසරය ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වීම නිසාය.

මගේ මව වන ගිලාන් උපන්නේ ලන්ඩන් නුවර හැක්නි ප්‍ර දේශයේය. ඇගේ පියා වෝල්ටර් දෙවැනි ලෝක යුද්ධයේ අවසන් භාගයේ කටයුතු කළ ප්‍රහාරක ගුවන් නියමුවෙකි. ඔහු ගොල්ෆ් ක්‍රීඩකයෙක් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස කටයුතු කර තිබේ. එහෙත් එය වෘත්තීය වශයෙන් ෙනාෙව්. එමෙන්ම මගේ මවගේ මව නැතහොත් මගේ මිත්තණියගේ ඥාති සහෝදරියගේ පවුලේ සාමාජිකයන් ක්‍රිකට් පිති නිෂ්පාදනායතයකට සම්බන්ධව සිටිබව සඳහන්ය. අපේ පවුල සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ බැඳීම දක්වන දුර සබඳතාවක් ලෙස එය දැක්විය හැකිය.

මගේ මව එංගලන්තයේ රැකියාවේ නියුතු ආයතනය සමඟ මගේ පියාද ඕස්ට්‍රේලියාවේ සිට එරට සේවයට ගොස් ගනුදෙනු කර තිබිණි. ඒ කාල සීමාව තුළ ඔවුන් දෙදෙනා අතර මිත්‍රත්වයක් ඇතිවී තිබුණු අතර පසුව මගේ පියා යළි ඕස්ට්‍රේලියාව වෙත පැමිණ තිබුණේය. මව නිවාඩුවක් පිණිස ඕස්ට්‍රේලියාවට පැමිණි ගමනකදී ඔවුන් දෙදෙනා යළි මුණගැසී ඇති අතර පසුව දෙදෙනා අතර විවාහය සිදුවි තිබිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපේ පවුල ගොඩනැංවුණේය. මගේ පියාගේ පවුලේ සාමාජිකයන්ද එංගලන්තයට අයත් ස්කොට්ලන්ත පවුලකින් පැවත එන්නන් වන බව සැලකෙයි. ඒ සියලු කරුණු අනුව මට එංගලන්තයට ක්‍රීඩා කිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය වී තිබිණි.

ලබන සතියට -නවසීලන්තයටත් ක්‍රීඩා කරන්න අවස්ථාවක්.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා