ඉයන් බොතම්ගේ අරමුදල් එක්කිරීමේ ව්‍යාපාරයට වැටුණු තොප්පිය

 ඡායාරූපය:

ඉයන් බොතම්ගේ අරමුදල් එක්කිරීමේ ව්‍යාපාරයට වැටුණු තොප්පිය

‘1977 වසරේ ජූලි මාසය වද්දී සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් මම වසර තුනක් අඛණ්ඩව දක්ෂතා දැක්වූයෙමි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මා එංගලන්ත ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයකු වශයෙන් කැඳවුම් ලැබීමය.’ මේ තමන් පුණ්‍යාධාර එක් රැස්කරන්නකු බවට පත්වීමට ඉවහල්වූ සමීපතම කාරණාව සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමේදී ශ්‍රීමත් ඉයන් බොතම් ස්වකීය පැහැදිලි කිරීම ආරම්භ කළ ආකාරයය.

‘මගේ පළමු එංගලන්ත කැඳවුම ඕස්ට්‍රේලියාවට එරෙහිවය.  මේ අතර මට ඇබැද්දියකට මුහුණදීමට සිදුවූයේ මගේ පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි. මේ සමඟ මා ප්‍රතිකාර පිණිස ඇතුළත් කරනු ලැබුවේ ටෝන්ටන්හි මුස්ග්‍රෝව් උද්‍යානය රෝහලටය. මා සති හයක ප්‍රතිකාරයන්ට මුහුණදිය යුතු බව අවසානයේ තීරණය කළ අතර යළි පුනරුත්ථාපනය විය යුතු බවද වෛද්‍ය නිර්දේශය විය. දිනක් මා වෛද්‍යවරයා මුණගැසීම සඳහා රෝහලට යනවිට වැරදීමකින් වෙනත් කෝරිඩෝවකින් හැරී ඉදිරියට ගමන් කළෙමි. එය වෙනත් කෝරිඩෝවකැයි මා දැන සිටියේ නැත. අවසානයේ එම කෝරිඩෝවේ කෙළවර තිබූ වාට්ටුවකට ඇතුළුවූ අතර එය දරුවන් සඳහා වෙන් කළ එකක් විය. මා එයට ඇතුළුවන විට කුඩා ළමෝ සිව්දෙනෙක් එක්ව එහි කාඩ් සෙල්ලමේ යෙදී සිටියහ. මම ඔවුන් හා කතාවට වැටුණෙමි. ඉන්පසු ඔවුන්ගෙන් සමුගෙන පැමිණීමට පෙර ඔවුනට සුබපතන්නට මම අමතක නොකෙරුවෙමි. ‘මගේ කකුලට කරන ප්‍රතිකාරවල තත්ත්වය කොහොමද කියලා බලන්න මම ආපහු තවත් සති දෙකකින් රෝහලට එනවා. එතකොට හම්බවෙමු’ මම ඔවුනට කීවෙමි. මේ කතාවට සවන් දුන් වෛද්‍යවරයා මා පසෙකට රැගෙන ගියේය. මෙම වාට්ටුවේ ප්‍රතිකාර ගනිමින් සිටින්නේ ලේ පිළිකාව වැළඳුණු රෝගීන් බව ඔහු මා හා පැවසීය. ‘ඔවුන්ගේ ජීවිතය තව දවස් කීපයයි. ඊට පස්සේ ඔවුන් මිය යනවා. ඒක හරිම කනගාටුදායක යථාර්ථයක්’ ඔහු මා හා කීවේය. වෛද්‍යවරයාගේ තොරතුර මා තුළ ඇතිකළේ විශාල කම්පනයකි. ඒ සමඟ මාතුළ ඇතිවුණේ කෙසේ හෝ මේ දරුවන් වෙනුවෙන් යමක් සිදුකළ යුතු බවය. මේ අනුව මම රෝහලට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා පුන්‍යාධාර අරමුදලක් බිහිකිරීමේ අවශ්‍යතාව ගැන සිතුවෙමි. පළමුව මා එම රෝහල වෙනුවෙන් ආධාර කිරීම ඇරඹුවේ මෙකී කම්පනය සමඟය. 1985 වසරෙන් අනතුරුව ලේක් දිස්ත්‍රික්කයේ මගේ බිරිය කැතී සමඟ සැතපුම් 874ක දුරක් ඇවිදීම වෙනුවෙන් ජන අවධානය දිනාගැනීමට අවශ්‍ය බව තීරණය කළෙමි. එය ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි දරුවනට ආධාර පිණිස සිදුකිරීමටද සැලසුම් කළෙමි. දින 35ක් දිග ඇදුණු එම ඇවිදීමේ ව්‍යාපාරයේදී පවුම් මිලියනයකට අධික මුදලක් සොයාගැනීමට අපට හැකිවිය. එම ඇවිදයාම අතිශය පීඩාවන් නිර්මාණය කළ අතර බොහෝ දේ පිළිබඳව ඉගෙනීමට එය අවස්ථාවක් විණි’ මේ ශ්‍රීමත් ඉයන් බෝතම්ගේ පුණ්‍යාධාර වෙනුවෙන් ලොව පුරා ඇවිද යාමේ ව්‍යාපෘතියේ සමාරම්භය සම්බන්ධයෙන් ඔහු කර තිබූ ප්‍රකාශයන්ගෙන් උපුටා ගැණුනකි.

එය කොතරම් ගැඹුරු කම්පනයක් හේතුවෙන් ඔහු තුළ හටගත් සිතිවිල්ලක්ද යන්නත්, ඒ වෙනුවෙන් පවත්වන ලද ඇවිදීමේ පුණ්‍යාධාර ව්‍යාපෘති වෙනුවෙන් ඔහු කොතෙක් සැලසුම් සකස් කර තිබේද යන්නත් මෙමගින් අවබෝධ කරගන්නට අපට හැකිය. එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවේදී එකල නාහෙට නොනාහන ඉලන්දාරියකු වශයෙන් හැඳින්වූ බෝතම් මත්ද්‍රව්‍ය ලබාගත් බවට ද කලක් චෝදනාවක් එල්ලවී තිබිණි. ඒ සියල්ල සමඟ ඕස්ට්‍රේලියාව බිහිකළ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙසද ඉයන් බෝතම් ගෞරවාදරයට ලක්ව සිටී. ඒ අතරේ ඔහු ක්‍රියාවට නැංවූ මෙවැනි පුණ්‍යාධාර වැඩසටහන් මගින් ඔහු ක්‍රීඩකයකු වශයෙන් සමාජයෙන් උපයාගත් බොහෝදේ එකී සමාජයේම ජීවත්වන දුකට පත් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කිරීමට පෙළඹීම දැක්විය හැකිය. එය විශිෂ්ට ක්‍රීඩකයකුගේ ගුණාත්මක හැසිරීමකි. 

එකී කීර්තියට කණකොකා හැඬුවේද?

එකී කීර්තිය දශක කීපයක් තිස්සේ ඔහු සතුව පැවැති අතර එය ලොව පුරා වැඩි වර්ධනය කෙරුණේය. එහෙත් එම කීර්තියට කණකොකා හඬන පුවතක් පසුගියදා බ්‍රිතාන්‍ය යේ සුප්‍රසිද්ධ පුවත්පතක් වන ‘ඩේලි මේල් ’ පුවත්පත විසින් වාර්තා කර තිබුණේය. එහි දැක්වුණේ බෝතම් පුණ්‍යාධාර වෙනුවෙන් රැස්කළ මුදලින් බ්‍රිතාන්‍ය පවුම් අනූහතර දහසක් ඔහුගේ දියණියගේ ගිණුමට බැර කර ඇති බවය. දියණියට අයත් මහජන සම්බන්ධතා කටයුතු මෙහෙයවන ආයතනයේ ගිණුමකට අදාළ මුදල ගෙවා ඇති බව එම වාර්තාව මගින් අනාවරණය කර තිබේ. පසුගිය වසරේ ඔහුගේ පුණ්‍යාධාර ගිණුමට බ්‍රිතාන්‍ය පවුම් එක් ලක්ෂ තිස් හත් දහසක මුදල ප්‍රදානයක් බැරව ඇති අතර ඉන් අනූහතර දහසක් මෙලෙස සිය දියණියගේ සමාගමට ගෙවා ඇති බව එම ප්‍රවෘත්තිය මගින් පැවසුණේය.මෙම මුදල් අරමුදල් රැස්කිරීම වෙනුවෙන් විය පැහැදම් කළ බව බොතම්ගේ පුණ්‍යාධාර ආයතනය ප්‍රකාශ කර ඇතැයි සඳහන්ය. එම මුදල් සැලසුම් කරණය සහ සෙසු වියදම් වෙනුවෙන් යොදාගත් බව එමගින් ප්‍රකාශිතය. කෙසේ වෙතත් බොතම්ගේ දියණිය වන සාරා බොතම් මෙම පුණ්‍යාධාර රැස්කිරීමේ වැඩසටහන් සමඟ සම්බන්ධවී ඇත්තේ මූල්‍ය වාසියක් ඇගේ සමාගම ඉන් ලබාගන්න නිසා බව අදාළ පුවත්පත් වාර්තාව මගින් චෝදනා කර තිබේ. 

ඒ සඳහා ඔවුන් සිය ලිපිය මගින් කරුණු ගෙනහැර දක්වමින් පවසා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පැවැති අරමුදල් තරකිරීමේ වැඩසටහනක් වෙනුවෙන් සහභාගිවන පුද්ගලයන් සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇත්තේද සාරා බොතම්ම බවයි. එම අරමුදල් රැස්කිරීමේ වැඩසටහනට පියර්ස් මෝර්ගන්, ඩේවිඩ් ගවර් සහ මයිකල් පාර්කින්සන් වැනි ආරාධිතයන්ද සහභාගිවී තිබිණි. මෙම අරමුදල් වැඩසටහනක් වෙනුවෙන් සහභාගිවීමට එක් පුද්ගලයකු මේසයක් වෙන් කිරීම වෙනුවෙන් පවුම් හාරදහස් පන්සීයක් වැය කළයුතු වූ අතර එම මේසයක ඔහු සමඟ බෝතම් හා සෙසු සාමාජිකයන් පැමිණ අසුන්ගෙන කතාබස් කිරීමට සැලසුම්කර තිබිණි. මෙලෙස උපයා ගන්නා මුදල් වැය කළේ කවරාකයේ පුන්‍යාධාර වැඩසටහනකට යන්න පැහැදිලි කිරීම සිදුකිරීමට ඔවුන් අපොහොසත්ව ඇති බව එම ලිපිය මගින් වැඩිදුරටත් දක්වා ඇත. 

මෙවැනි ව්‍යපෘතීන් දෙකක ප්‍රචාරණ කටයුතු සෝලා ඉවෙන්ට්ස් නම් සමාගම සිදුකර තිබූ අතර එහි හිමිකාරිත්වය සාරා බෝතම් විසින් දරණ බව පැවසෙයි. එලෙසින්ම සිය පියා සමඟ අරමුදල් තරකිරිමේ පාගමනක ඇවිදයාම වෙනුවෙන් යම් පුද්ගලයකු එකඟත්වය දක්වන්නේ නම් ඒ වෙනුවෙන් ඔහු හෝ ඇය ගෙවිය යුතු මුදල පවුම් අට දහසක් ලෙස සාරා බොතම් දැනුම්දී තිබූ බව මේ වනවිට හෙළිදරව්වී ඇත. මේ ආකාරයෙන් මුදල් එක් රැස්කර එයින් සැලකිය යුුතු මුදලක් පෞද්ගලික පරිහරණයට යොදාගැනීම රැවටීමක් බව එම ලිපිය මගින් ප්‍රකාශිතය. එමෙන්ම මෙම අරමුදල් රැස්කිරීම සම්බන්ධයෙන් වන ගිණුම් වාර්තා ඇත්තේ වසර 4ක කාලසීමාවක් තුළ පමණක් බව පැවසෙයි.  එම ගිණුම් වාර්තාවන්ට අනුව 2016 වසරේ පවුම් හය ලක්ෂ අනූ දහසක් ලැබී ඇති අතර ඉන් තුන් ලක්ෂ හතළිස් දහසක් පමණක් පුණ්‍ය කටයුතු වෙනුවෙන් යොදවා ඇතැයි පැවසේ.  වසර හතරක කාල සීමාව තුළ අරමුදල් එක්කිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල් ප්‍රමාණය පවුම් දෙළක්ෂ දොළාස් දහසකි. මේ අතර 2015 වසරේදී ගොල්ෆ් තරගාවලියක් සංවිධානය කර තිබුණේ ශ්‍රීමත් ඉයන් බොතම්ගේ උපන්දිනය වෙනුවෙනි. අරමුදල් රැස්කිරීම් සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරනු ලබන ඇලෙක්ස් මේ අදාළ සිදුවිම් සම්බන්ධයෙන් සඳහන් කර ඇත්තේ හැකිතාක් දුරට එකී අරමුදල් රැස්කිරීම විනිවිදභාවයෙන් යුතුව සිදුකරන ලෙසය. 

ශ්‍රීමත් වුණේ කෙසේද?

ශ්‍රීමත් ඉයන් බොතම්ගේ සිතිවිලි ප්‍රකාරව ලියුකේමියාව ඇතුළු විවිධ රෝගාබාධයන්ට මුහුණපෑවුන් වෙනුවෙන් විශේෂයෙන් දරුවන් වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ ව්‍යාපාරය ලොව පුරා මේ වනවිටත් ක්‍රියාවට නංවා තිබේ. ඒ සඳහා දායකවීමට ලැබීම ජයග්‍රහණයක් ලෙස සලකන බොතම්ගේ මෙම සිතිවිල්ලේ සාර්ථක භාවය සම්බන්ධයෙන් දෙවැනි එලිසබෙත් රැජිණ විසින් ශ්‍රීමත් නාමයක් පුදනු ලැබුවේ 2007 වසරේදීය. එය හරියටම කියන්නේ නම් 2007 වසරේ ඔක්තෝබර් 10 වැනිදා ලෙස සැලකිය හැකිය. එවැනි ගෞරවයක් ඔහු වෙත ලබාදුන්නේ පළමු පුණ්‍යාධාර අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ඇවිදයාම අරඹා වසර විසි දෙකක් ගතවන විට වීමද සුවිශේෂීය. යම ව්‍යාපෘතියක් අරඹන්නට ශූරයන් එය පවත්වාගෙන යන්නට ශූර නොවන්නේ යැයි බොහෝවිට පැවසිය හැකිය. යමක් ඇරඹූවත් එය නිසි පරිදි පවත්වාගෙන යන්නේ එහෙමත්ම විශිෂ්ට මිනිසෙකි. ඒ අතින් බලන කල බොතම් විශිෂ්ට මිනිසෙකි. ඔහු දරුවන් වෙනුවෙන් ඇරඹි ව්‍යාාරය දිගින් දිගටම අවස්ථානුකූලව පවත්වාගෙන ගොස් තිබේ.  

මේ අපූර්ව සාර්ථකත්වයම දෙවැනි එලිසබෙත් රැජිණ විසින් නයිට් නාමයෙන් නැතහොත් ශ්‍රීමත් නාමයෙන් ඔහු පුදන්නේ එලෙසිනි.  බොතම් එදා ඇරඹි ලියුකේමියාව පැරදවීමට ආධාර සොයන සටන අද වනවිට වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් බොහෝ දුර ගොස් තිබේ. ඒ අනුව එදා ලියුකේමියා වැළඳීමෙන් සුව කළ හැකි සියයට විස්සක් වූ පිරිස මේ වනවිට සියයට අසූව දක්වා ඉහළ ගොස් තිබේ. එය වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් ලැබූ ජයග්‍රහණයකි. එහෙත් ඒ වෙනුවෙන් පුණ්‍යාධාර රැස්කිරීම උදෙසා ලොව වටා ඇවිද යාම ආරම්භ කළ ඉයන් බොතම්ට අද වනවිට චෝදනා එල්ලව ඇත. ඔහුගේ දියණියටද චෝදනා එල්ලවී තිබේ. ඒ එලෙස රැස්කරන මුදල් අවභාවිත කර ඇති බවටය. ශ්‍රීමත් නාමය හිමිව වසර දහයක් ඉක්ම ගිය පසු අදාළ චෝදනාව එල්ලව ඇති අතර එ් පිළිබඳ නිසි පැහැදිලි කිරීමක් සිදුකිරීමට ශ්‍රීමත් ඉයන් බොතම් ට දැන් සිදුව ඇත. කෙසේ නමුත් ඒ පිළිබඳව මෙතෙක් ඔහු පැහැදිලි කිරීමක් කර නැත. ක්‍රිිකට් ක්‍රීඩාව වෙනුවෙන් හා පුණ්‍යාධාර රැස්කර සමාජය සුවපත් කිරීමට ඔහු ගන්නා ව්‍යායාමට ගෞරව වශයෙන් දෙවන එළිසබත් රැජිනිය විසින් ලබාදුන් ශ්‍රීමත් නාමයේ ගෞරවය ආරක්ෂාවන පරිදි කරුණු පැහැදිලි කිරීම විනිවිද භාවයෙන් යුතුව සිදුකළ යුතුව ඇත්තේ ඉයන් බොතම්මය. ඒ වෙනුවෙන් ඔහු ඉදිරි දින කීපයේදී නැගී සිටිනු ඇතැයි ලොව පුරා වෙසෙන ඔහුගේ රසිකයන්ගේ අරමුණය. එංගලන්තය තුළ පුණ්‍යාධාර රැස්කිරීමෙන් විවිධ වාර්තා පිහිටුවා ඇති ඉයන් බොතම් හට එල්ලව ඇති මෙම චෝදනාවලින් ගැලවී ගත හැක්කේ ඒ අයුරින් කටයුතු කිරීමෙන් පමණි.

ශ්‍රී ලංකාව තුළද උතුරු නැගෙනහිර පළාත්හි වෙසෙන දරුවන්ගේ ක්‍රිකට් ක්‍රීඩා හැකියාව ඇතුළු අධ්‍යාපනික දක්ෂතාවයන් ඉහළ නැංවීම හේතුකරගනිමින් පුණ්‍යාධාර රැස්කිරීමේ ව්‍යාපෘතියකටද ශ්‍රීමත් ඉයන් බොතම් වරක් සහභාගිවූ අතර ඔහුගේ නමට එරෙහිව එල්ලවී තිබේ.  ‘කොහොම වුණත් අරමුදල් රැස්කරමින් අහිංසක මිනිසුන් වෙනුවෙන් කටයුතු කරන්න හැඟීමක් ඇතිකළේ ටෝන්ටන්හි මුස්ග්‍රෝව් උද්‍යානය රෝහලට ගිය අවස්ථාවේදී හමුවූ දරුවනුයි. ඔවුන් දැන් මියගොස් බොහෝ කලක් වුවත් මට ඔවුන් ඇතිකළ හදවතේ කම්පනය තවමත් එදා මෙන්ම රැඳී තිබෙනවා. එය මට මිනිසකු වශයෙන්, මිනිස් වගකීම් සම්බන්ධයෙන් වන කම්පනයක්ව හදවත පතුලේ නැගී සිටිනවා. ඉතින් මම මේ චෝදනා සම්බන්ධයෙන් නොසැලී, ලෝකයේ අහිංසක ජනතාව වෙනුවෙන් පෙර ආකාරයෙන්ම නැගී සිටිනවා’ යැයි ශ්‍රීමත් ඉයන් බොතම් හෙට දිනයේදී මාධ්‍ය ඉදිරියට පැමිණ ප්‍රකාශ කරන්නට පිළිවන. එම කතාව ඔහුගෙන් අසන්නට අප බලා සිටින්නේ එය සමාජය විසින් ඇසිය යුතු කතාවක්ම වන හෙයිනි.

මාතෘකා