ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තලයේ ඉදිරියට

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තලයේ ඉදිරියට

ලෝක කුසලානය දිනා සිය රට පැමිණි ශ්‍රී ලංකා පිලට දසතින් සුබපැතුම් ගලා එන්නට විය. රාජ්‍ය නායකයාගේ සිට පහළටත්, සාමාන්‍ය යෙන් ක්‍රිකට් ක්‍රීඩාව සමඟ රැඳීසිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයාත් ලෝක කුසලානය දිනූ කණ්ඩායමටත්, එම සංචිතයටත් දැක්වූයේ ඉහළ සැලකිලිය. ලෝකයේ පුංචි කඳුළු බිංදුව සතුටේ උපත බවට පෙරැළු ගඩාෆි පිටියේ සංග්‍රාමයට ගරු කිරීමක් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වටා මල් වැසි වසින්නට පටන් ගත්තේය. විවිධ ව්‍යාපාරික සමාගම් ස්වකීය මූල්‍ය අනුග්‍රහය ලබාදීමට තීරණය විණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත මුදල් ගලා ආවේය.
කළු අශ්වයන්ගේ පිහිටෙන් ලෝකය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණේ දැවැන්ත කීර්තියකි. එම කීර්තිය ප්‍රතික්ෂේප කළ නොහැකි යෝධ සෙවනැල්ලකි. ඒ සෙවනැල්ල යටට යන්නකුට දැනෙන සුවය කොතරම්ද යත් එහි නිර්මාතෘවරුන් සිය ක්‍රිකට් ජීවිතයේ සැඳෑ සමයට පිවිසෙමින් සිටියද එකී අපූර්වතාව අත්විඳ ගත්හ. ඔවුහු උදම් ඇනුවා නොව, එකී සාඩම්බර භාවය ඔවුන් වෙත පතිත විණි. එය ආසියාවම සිනාසෙන්නාක් වැනි ජයග්‍රහණයකි. රුපියල් සියයේ දෙසීයේ අගයේ සිටි ශ්‍රී ලංකාවේ වටිනාකම මිලියන ගණනකට ඉහළ ගියේ එලෙසිනි. අර්ජුන හා ඔහුගේ යකඩ ගෝලයන් රැළ ලෝකයේ විරාජමාන වූහ. තරගාවලි ගලා ආවේය. ඔවුන් තරගවදින තරගාවලියක අපූර්වත්වය විඳ ගැනීමට ප්‍රේක්ෂකයා සැමවිටම සිටියේ කැමැත්තෙනි. ඔවුන්ගේ ඉල්ලුම තේරුම්ගත් අනුග්‍රාහකයා ශ්‍රී ලංකා පිල වටා රොඳ බඳින්නට වූහ. ඒ ඔවුන්ගේ ස්වර්ණමය යුගයේ ආරම්භයය. සනත් - කළු සුසංයෝගයෙන් ඇරඹෙන
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂක ආකර්ශනය අසංක ගුරුසිංහගෙන් ස්ථාවර විශ්වාසයක්ව
අරවින්ද ද සිල්වාගෙන් ප්‍රශස්ත තලයට ළඟාවී, අර්ජුණ රණතුංගගෙන් පරිපාකයට පත්වන අපූරු හැඩයක් ගෙනැවිත් තිබිණි. ඒ හැඩය කොතරම් ශක්තිමත් ඉනිම් ගොඩනගන්නේද යත් ප්‍රතිවාදියා එකී ඉලක්කයේ වැටකඩොළු බිඳ දැමීම වළක්වනු ලැබුවේ පන්දුයවන්නන් අතර මුත්තයියා මුරලිදරන් හා චමින්ද වාස් පෙරමුණ ගත්තේ සෙසු පන්දුයවන්නන් සමඟය. මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ක්‍රිකට් ගැසූ ඇස් ලොකු කොල්ලා, අපේ කතානායක ලෝක පූජිත ක්‍රීඩකයකු බවට පත්වීම පරිපාකයට නැගෙන්නේ ඒ අතරේය.
පිළිගැනීම, ජයග්‍රහණ, ගෞරවය, අවස්ථාව මේ සියලු දේ හමුවේ තමන්ගේ උත්සහය තවතවත් ඉහළ නැංවීම මුරලිගේ සිරිත විණි. තමන් වෙත ගලා එන බොහෝ වරදාන, වරප්‍රසාද ඇතුළත පිට දඟ පන්දුයවන්නකු ලෙස තවතවත් ලෝකය තුළ ස්ථාපිත වීම ඔහුගේ ඒකායන අරමුණවී තිබිණි.
ඒ වනවිට ඔහු ටෙස්ට් කඩුලු 100ක් දවාගෙන නොසිටි අතර එය සංඛ්‍යාත්මකව 81ක් ලෙස සටහන් වුණේය. මුරලි කඩුලු 100 සමාජයට එක්වීමට අවස්ථාව උදාකර ගැනීමද එසමයේ ගෞරවයක් ලෙස සැලකුණේ කඩුලු සියයක් දවාගැනීම එතරම් සාඩම්බර ලෙස පිළිගැනුණු බැවිනි.
සිම්බාබ්වේ, නවසීලන්තය, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්වලට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලි හතර ඔහුගේ එම අපේක්ෂා ඉටුකරනු ලැබූ තරගාවලිය විය. ටෙස්ට් කඩුලු ශතකයක් රැස්කළ පළමු ශ්‍රී ලාංකික පන්දුයවන්නා වෙමිනි. එය ජයග්‍රහණයකි. ශ්‍රී ලංකාව වෙනුවෙන් රටේ නාමය ජාත්‍යන්තරය තුළ පළමුව ටෙස්ට් ජාතියක් වශයෙන් සලකුණු කළ අවස්ථාවකි. අප විස්තර කරනු ලබන මෙම සමයේ ලෝකයේ පන්දුයවන්නන් අතරේද කඩුලු 100ක් දවාගත්තවුන් සිටියේ අවම ප්‍රමාණයකි. ඒ අනුව රටක් වෙනුවෙන් පළමු කඩුලු 100 රැස්කළ පළමුවැනියාවීමේ ගෞරවයට හිමිකියන්නාවීමත් සුවිශේෂ ජයග්‍රහණයකැයි කිවයුතුය. තරගයක කඩුලු 5ක් දවාගැනීම, ඉනිමක කඩුලු 5ක් දවාගැනීම වැනි ගෞරවනීය මං සලකුණු සනිටුහන් කිරීමට
ඒ අතර කාලය තුළ මුරලිට අවස්ථාව උදාවිය. තරගයක ටෙස්ට් කඩුලු දහයක් බිඳ හෙළීමේ වාර්තාව මුරලි පිහිටුවනු ලබන්නේ 1998 ජනවාරි මාසයේදී තමන් උපන් කුණ්ඩසාලේ ප්‍ර දේශයේම පිහිටි මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණයේය. ප්‍රතිවාදියා වූයේ සිම්බාබ්වේ කණ්ඩායමයි. එහිදී ඔහුගේ ආයාසකර පිට දඟ පන්දුවෙන් ගැලවීමට සිම්බාබ්වේ පිතිකරුවන් රැසකටම අවස්ථාව අහිමිවුණු බව සනිටුහන් කරමින් කඩුලු 12ක් එක් තරගයක් තුළ අපේ කතානායකයාගේ කඩුලු මල්ලට වැටුණේ යැයි කිව යුතුය. එය අනුස්මරණීය අවස්ථාවකි. තරගයේ ජය හිමිවුණේද ශ්‍රී ලංකා කණ්ඩායමටම හෙයින් එම සතුට දෙගුණ තෙගුණ විණි. 1996 ලෝක කුසලානය දිනාගත්තාවූත්, ක්‍රිකට් කවුන්සිලය සමඟ හා ජාත්‍යන්තර විනිසුරුවන් සමඟ ගැටුණාවූත් අර්ජුන රණතුංග ඇතුළු සමස්ත
ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කළ මුරලි වේගවත් ගමනක් අරඹා ඇත. එය පිඹුරන් දඩයමක් මෙනි. දිගින් වැඩිය, වේගවත්ය. කඩුලු දඩයම්කරුවකු වශයෙන් ඔහු දක්වන දායකත්වය කණ්ඩායම තුළ මුරලිට ඇතිකළේ සුවිශාල ස්ථාවර බවකි. මුරලි නිත්‍ය ක්‍රීඩයකු ලෙස සැලකුණේ නායකයා, උපනායකයා මෙනි. අර්ජුන, අරවින්ද, සනත්, වාස් මෙන් මුරලිද කණ්ඩායමේ නිත්‍ය සගයකු විය. ඔහු ලැබූ එම විශ්වාසය සුවිශේෂී ජයග්‍රහණයකි. අප්‍රතිහත කැප කිරීම් සමුදායක අවසන් ප්‍රතිඵලයකි. ඔහු කියාදෙන එම පාඩම රටේ තාරුණ්‍යයටද වැදගත් වන්නේ උත්සහය ඇත්නම් ජයගත නොහැක්කක් නොමැතිය යන්න තහවුරු කරමිනි. එම ගමන කොතරම් අපූරුද යත් ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ සමාප්තිය බොහෝ දේ සනාථ කරවන්නක් වන සැමරුම් මතකයක් වූයේ එම කැපකිරීම නිසාමය.

එක්දින ක්‍රීඩකයා
ලෝක කුසලාන ජයග්‍රහණයෙන් අනතුරුව එක්දින පන්දුයවන්නකු ලෙසින්ද මුරලිගේ දීප්තිය තහවුරු කළ තරග රැසක් දැකගත හැකිය. ඔහුට කඩුල්ලක් හිමිනොවූ තරගයක් වේ නම් ඒ ඉතාමත් කළාතුරකින් යැයි කිව හැකිය. ටෙස්ට් තරගවල විකාශය සිදුවන්නේ යම් සේද එක්දින තරග තුළ පන්දුවාර 10කදී පෑයුතු වික්‍රමය තේරුම්ගනිමින් කටයුතු කිරීමට තරම් අපේ කතානායක බුද්ධියෙන් පරිපාකයට පත්ව සිටියේය. ඔහු පන්දුව යැව්වේ පිතිකරුවා මනාව තේරුම් ගනිමිනි. ඔහුගේ දෙනෙත්, අංග චලනයන් හා ඉතිහාසයේ දත්ත තොරතුරු පරිශීලනය කර නිමවා ගත් දළ අදහසකට අනුවය. ඔහු ප්‍රතිවාදියාගේ සිත කියැවූයේය. බොහෝ විට එම කියැවීම නිවැරදි විය. නායකයා සැලසුම් කළ ක්‍රීඩා පිටියට තමන්ගේ විශ්වාසය අනුව සංශෝධන යෝජනාවන් වශයෙන් ඉදිරිපත් කළ මුරලි කඩුලු පිට කඩුලු දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින පන්දුයවන්නන් අතරද ඉදිරියට පැමිණීමට සමත්වුණේය. ලැබෙන තරග රටාව කුමක්දැයි තෝරාගනිමින් කිසිදු වෙනසකින් තොරව ක්‍රීඩා කළ ඔහු වීරයකු බවට පත්වුණේ ඒ අයුරිනි. මුත්තයියා මුරලිදරන් යනු රටක් නොව ලොවක් හඳුනන, ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයන් තුළ භීතියක් ඇතිකරවන භාවිත අවි ආයුධ රැසක් සහිත ලොව බිහිවූ හොඳම පිට දඟ පන්දුයවන්නාගේ කීර්තිය අත්පත් කරගත්තේ එලෙසිනි. එකල්හි පාකිස්තානයෙන් සක්ලේන් මුෂ්ටාක් වැනි පන්දුයවන්නන් ක්‍රීඩා කළ අතර එම ක්‍රීඩකයන් අත්හදා බලන රහස් පන්දු මුරලිගේ අවි ගබාඩාවේද අවි ආයුධ අතර විය. පිට දඟ පන්දුයවන්නකු වශයෙන් ඔහු දමනු ලබන මුදුන් දඟර පන්දුවට ගොදුරු නොවන එකදු දකුණත් පිතිකරුවකු නොමැති තරමටම මුරලි ඓතිහාසික පන්දුයවන්නකුව සිටියේ එලෙසිනි. ඕස්ට්‍රේලියාවේ බෘෘස් යාඩ්ලි වැනි පාදඟ පන්දුයවන්නන් හා පසුකාලීනව පුහුණුකරුවන්වූ ක්‍රීඩකයන්ද මුරලි නමින් ලියූ වාචික සහතික ක්‍රීඩකයකු වශයෙන් අපේ කතානායකයා දිනාගත් අපූරු සම්මාන ලෙසින් දැක්විය හැක්කේය

මාතෘකා