කුසල් මෙන්ඩිස් සිකුරාදා ක්‍රීඩා කරනවාද? තීරණය අද

 ඡායාරූපය:

කුසල් මෙන්ඩිස් සිකුරාදා ක්‍රීඩා කරනවාද? තීරණය අද

නිදහස් කුසලාන සිව්වැනි ක්‍රිකට් තරගයේදී පන්දු රැකීමට ගොස් ආබාධයකට ලක්වූ සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවසන් තීරණය අද දිනයේ ලබාගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසා තිබේ. විසි තුන් හැවිරිදි කුසල් මෙන්ඩිස් හතරේ සීමාව වෙත යන පන්දුවක් නවතා ගැනීමට යාමේදී මෙම ආබාධයට නතුවිය. පසුව ඔහුව පිටියෙන් ඉවත් කිරීමටද ශ්‍රී ලංකා කළමනාකාරිත්වය කටයුතු කළේය.

මාංශ පේශියක් ආශ්‍රිතව හටගෙන ඇති ආබාධයක් හේතුවෙන් කුසල් මෙන්ඩිස් තවමත් පීඩා විඳිමින් සිටින බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ඇති අතර භෞත චිකිත්සකයන් පවසා ඇත්තේ ඔහුගේ තත්ත්වය නිසැක වශයෙන් දැනගැනීමට පැය විසිහතරක කාලයක් බලා සිටිය යුතු බවය. පිට පිට තරග දෙකක අර්ධ ශතක දෙකක් රැස් කිරීමට කුසල් මෙන්ඩිස් සමත්විණි. ශිකර් ධවාන් හා කුසල් ජනිත් පෙරේරාට පසු තෙවැනියට වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවා වන්නේ ද මොහුය.

සිකුරාදා පැවැත්වෙන තරගය වනතුරු කිසිදු තරගයකට සහභාගිවීමට ශ්‍රී ලංකා පිලට සිදුනොවන හෙයින් එ් අතර කාලය තුළ සුව අතට හැරීමට කුසල් මෙන්ඩිස්ට අවස්ථාව හිමිවී තිබීම ශ්‍රී ලංකා කඳවුර පාර්ශ්වයෙන් වඩා සතුටුදායකව තිබේ. තරග සංවිධායකයන් වන ශ්‍රී ලංකාවට තරගාවලිය ආරම්භයේදීම ආබාධයක් හේතුවෙන් නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් අහිමිවූ අතර අසේල ගුණරත්න, ෂෙහාන් මධුශංකද ආබාධවලට ලක්ව තරගාවලියට ඇතුලත් නොවිණි. මේ අතර නිදහස් කුසලාන තරගාවලියේ නායකයා වශයෙන් කටයුතු කළ දිනේෂ් චන්දිමාල්ටද සෙමින් පන්දුයැවීම යන චෝදනාව යටතේ තරග දෙකක් අහිමිවිණි. ඒ අනුව ප්‍රබල ක්‍රීඩකයන් රැසක් නොමැතිව ශ්‍රී ලංකාව මෙවර තරගාවලිය සඳහා තරග වැද සිටී. යම් හෙයකින් කුසල් මෙන්ඩිස්ගේ ආබාධය සිකුරාදා තරගයට ඔහුගේ සහභාගිත්වයට බලපෑමක් කළහොත් එය කණ්ඩායම දැඩි පීඩනයකට ලක්කිරීමට හේතු වනු ඇත.