රමිත රඹුක්වැල්ල යළි පැටලෙයි

 ඡායාරූපය:

රමිත රඹුක්වැල්ල යළි පැටලෙයි

හිටපු අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුවැල්ල මහතාගේ පුත් රමිත රඹුක්වැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සතියේ සිකුරාදා රාත්‍රියේ කොළඹ, නාවල ප්‍රදේශයේ සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මොහු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහුට බීමතින් රියපැදවීම හා විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකුට පහර දීම යන චෝදන එල්ලවී තිබූ අතර පසුගිය සෙනසුරාදා ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබුණේය. සිසුන් දෙදෙනාට පහරදුන්නේය යන්න සිද්ධිය සමථයකට පත්කෙරුණු අතර බිමතින් රියපැදවීමේ චෝදනාව යටතේ ඔහුට එරෙහිව නඩු පවරනු ලැබිණි.


මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් සිදුනොකළ බවය. රටක නීතියට අනුගත වීමේදී ක්‍රීඩකයන් සම්බන්ධයෙන් විශේෂයක් සිදුකළ නොහැකි බව සඳහන් කළ එහි ප්‍රකාශකයකු  ඔහු සම්බන්ධයෙන් එල්ලවූ දෙවැනි චෝදනාව මෙය බව කියා සිටියේය. මාස 18 කාල සීමාවක් තුළ ඔහු මෙලෙස දෙවැනි වතාවටත් පොලිස් අත්අඩංගුවට පත්ව තිබිණි. මෙයට පෙර මෝටර් රථ අනතුරක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනුණු අතර 2013 ජූලි මාසයේදි කැරිබියන් දූපත්හි සිට පැමිණි ගුවන් යානයක ගුවන් නියමු කුටිය විවෘත කිරීමට උත්සාහ කිරීමෙන් ද ඔහු ගැටලුවකට මැදිව සිටියේය. එවිට අදාළ ගුවන් යානය අඩි 35000ක් උඩු ගුවනේ ගමන් කරමින් තිබූ බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබිණි. මේ අතර අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන සමයේ සිටම රමිත රඹුක්වැල්ලගේ විනය විරෝධී හැසිරීම් වාර්තා වූ බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබේ. රඹුක්වැල් 2016 වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස කණ්ඩායම වෙනුවෙන් තරග දෙකකට සහභාගි වීමටද සමත්විණි. දේශීය ක්‍රිකට් තරගවලදී ද්‍රවිඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඔහු පසුගියදා අවසන් වුණු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියටද සහභාගි වූයේය.

මාතෘකා