නිදහස් කුසලානයේ පළමුවෙන් නිදහස සොයන්නේ කවුද?

 ඡායාරූපය:

නිදහස් කුසලානයේ පළමුවෙන් නිදහස සොයන්නේ කවුද?

නිදහස් කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන දෙවැනි තරගය අද ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙයි. බංග්ලාදේශය සමග පැවැති පසුගිය තරගය තියුණු පරාජයකට ලක්වීමෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ ඉදිරි ගමන සුරක්ෂිත කරගැනීම සඳහා මෙම තරගය අතිශයෙන් වැදගත් වේ. එහෙයින් මෙම තරගය ජයගැනීම සඳහා දැඩි අධිෂ්ඨානයක් සහිතව ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීම කැපී පෙෙන්.

දෙරට අතර පළමු හමුවේදී පරාජය ලැබූ ඉන්දීය කණ්ඩායමද අද පැවැත්වෙන තරගය කෙසේ හෝ ජයගැනීමේ දැඩි අදිටනින් පසුවන බව පැවසිය හැක. කණ්ඩායම තුළ ඒ වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් තුළ දැඩි උද්යෝගයක් පවතින බව ඉන්දීය නායක රෝහිත් ෂර්මා ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම පිතිකරුවන්ට වඩා යෝග්‍ය තණතීරුවේ දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම වඩා වාසිදායක බවට පවතින මතය හේතුවෙන් අද තරගයේදීද උණුසුම් ස්වභාවයක් අපේක්ෂා කළ හැකිය. පෙර පැවැති තරගය ජයගැනීමෙන් මෙම තරගයට පිවිසෙන ඉන්දීය කණ්ඩායම හා අවසානයට පැවැති තරගය තියුණු තරගයකින් පසු පරාජය වී තරගයට පැමිණෙන ශ්‍රී ලංකා කණ්ඩායම අතර වඩා තියුණු තරගයක් අපේක්ෂා කළ හැකිය. කෙසේ වෙතත් මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් තිබේ. එනම් තමන්ගේ මැද පෙළ පිතිකරුවන්ගෙන් බහුතරයක් පැවැති තරග දෙකේදීම ලකුණු අතරට නොපිවිසීමය. කුසල් ජනිත් පෙරේරා හා කුසල් මෙන්ඩිස් මෙන්ම උපුල් තරංග මත පමණක් බලාපොරොත්තු තබාගැනීම කොතෙක් දුරට සාර්ථක කණ්ඩායමක සැලැසුමක් වේද යන්න ගැන ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිල්ලට ලක් කළ යුතුව ඇත. ඔවුන් තිදෙනාගේ සාර්ථක භාවය මත තරගාවලියේ සියලු බර තබනවා වෙනුවට සෙසු පිතිකරුවන්ද ස්වකීය වගකීම ගැන කල්පනාකාරීව කටයුතු කිරීම වැදගත්වී තිබේ. එය වඩාත් වැදගත් වන්නේ තරගාවලියේ මධ්‍ය කොටසට පැමිණ ඇති බැවින් ප්‍රතිවාදී කණ්ඩායම් විසින් මේ වන විට එක් එක් කණ්ඩායමේ පිතිකරුවන්ගේ දුර්වලතා මෙන්ම ප්‍රබලතාද අධ්‍යයනය කර ඇති හෙයිනි. එහෙයින් එය සිතට ගෙන අද තරගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම කටයුතු කරනු ඇති බව ක්‍රීඩා විචාරකයන්ගේ විශ්වාසය වී තිබේ.