ශ්‍රී ලංකා - ඉන්දියා පළමු තරගය අද

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - ඉන්දියා පළමු තරගය අද

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගය අද පැවැත්වේ. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබේ. අවසන් මහා තරගයට පෙර මූලික තරග හයකින් සමන්විත මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවන අතර ඉන්දීය කණ්ඩායම මෙහෙයවන්නේ රෝහිත් ෂර්මා විසිනි. දෙපිලේම නිත්‍ය නානයකින් දෙදෙනා මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන හෙයින් තරගාවලිය සඳහා කණ්ඩායම් දෙක මෙහෙයවීමේ වගකීම ඔවුන් දෙදෙනා හිමිකරගෙන ඇත. දිනේෂ් චන්දිමාල් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායකයා වන අතර රෝහිත් ෂර්මා සැලකෙනුයේ ඉන්දීය කණ්ඩායමේ උපනායකයා වශයෙනි. මේ අතර කණ්ඩායම් දෙකේ උපනායකත්වය පැවරී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආරම්භක වේග පන්දුයවන්නා වන සුරංග ලක්මාල් සහ  ඉන්දීය ආරම්භක පිතිකරුවා වන ෂිකර් ධවාන් වෙතය.

ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් සලකද්දී කුසල් ජනිත් හා කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමත් සත්කාරකයන් වශයෙන් කටයුතු කිරීමේ දී පිටියේ හා ප්‍රේක්ෂකයින්ගේ වාසියත් එක්වූ කල ඉන්දියාවට හොඳ අභියෝගයක් ලබාදීමට හැකි කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකිය. බංග්ලාදේශ සංචාරයේදී කුසල් ජතිත් වෙනුවට කුසල් මෙන්ඩිස්ව ආරම්භක පිතිකරුවා වශයෙන් නම් කිරීමට ශ්‍රී ලංකා පුහුණුකරුවා කටයුතු කළ අතර කුසල් මෙන්ඩිස් එහිදී සාර්ථකත්වය උකහාර ගැනීමට සමත්විය. කෙසේ වෙතත් අද පැවැත්වෙන තරගයේදී ආරම්භක සුසංයෝගය වශයෙන් ක්‍රීඩා කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකාරිත්වය කටයුතු කර නැත. එහෙයින් අද තරගයේදී බොහෝ දුරට ආරම්භක පිතිකරුවන් වශයෙන් කටයුතු කරනු ඇත්තේ කුසල් ජනිත් හා ධනුෂ්ක ගුණතිලක වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ඉන්දීය කණ්ඩායම පාර්ශ්වයෙන් සලකන කල්හි සුරේෂ් රයිනාගේ ආගමනය කණ්ඩායමට විශාල ශක්තියක් ලෙස දැක්විය හැකිය. විරාත් කෝලි, මහේන්ද්‍ර සිං දෝනි වැනි ප්‍රබල ක්‍රීඩකයන් විවේක ගත් ඉන්දීය කණ්ඩායමට රයිනාගේ පැමිණීම ප්‍රබල ශක්තියක් බවට පත්වී ඇත. පසුගියදා නිමාවට පත්වුණු දකුණු අප්‍රිකානු පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේදී දක්ෂතා අතරට පිවිසි රයිනා එහි ප්‍රහාරක වේගය ලකුණු 150 ඉක්මවන සීමාවක රඳවා ගැනීමටද සමත්විය. කවදත් ශ්‍රී ලංකාව හමුවේ හොඳින් පන්දුවට පහරදෙන නායක රෝහිත් ෂර්මාත්, ශිකර් ධවාන්ගේ පිතිහරඹයත් ඉන්දීය කණ්ඩායම තුළ තවදුරටත්  විශ්වාසය වර්ධනය කරමින් තිබේ. සෙසු ක්‍රීඩකයන් සම්බන්ධයෙන් කතාකිරීමේදී කණ්ඩායමට අලුතින් එක්කර ඇති ක්‍රීඩකයන් සතු අවස්ථාවන්ද අමතක කළ නොහැකිය. විශේෂයෙන් කණ්ඩායමට එක්ව ඇති රිෂාබ් පැන්ට් දේශීය පන්දුවාර විස්සයි විස්ස තරගවලදී අර්ධ ශතකයක් හා ශතකයක් රැස්කිරීමට සමත්ව ඇති අතර ඔහු මේ වනවිට සිටිනුයේ හොඳ රිද්මයක වීමද විශේෂිතය.  හිමාචල් ප්‍රදේශ් කණ්ඩායමට එරෙහිව ඔහු පසුගියදා පන්දු 38 කදී ලකුණු 116ක් රැස්කිරිමද සමත්විය.

රාත්‍රී තරගය

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ මෙම තරගාවලිය පැවැත්වෙන්නේ රාත්‍රී තරග ලෙසය. මෙහිදී විදුලි ආලෝකය යටතේ කණ්ඩායම් දෙකටම එක සේ සමබර අවස්ථා උකහා ගැනීමට හැකිවන අයුරින් මෙලෙස තරගාවලිය රාත්‍රී තරග ලෙස පැවැත්වීමට නියමිතව ඇත. කෙසේවෙතත් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සම්පූර්ණ රාත්‍රී තරගයක වුවද දෙවැනියට පන්දුවට පහරදෙන කණ්ඩායමට ක්‍රීඩාංගණයට බලපාන පින්න තරගයේ තීරණයට යම් ආකාරයකින් බලපෑම් කරනු ඇති බවට විශ්වාස කළහැකිය. පින්නෙන් ඇතිවන තෙතමනය හැකිතාක් ඉවත් කිරිමට තරග සංවිධාකයන් කටයුතු කළද ඉනිම පැවැත්වෙන කාලය තුළ වැටෙන පින්න තද වුවහොත් පිතිකරණයේ යෙදෙන කණ්ඩායමට පිටත පිටියේ පන්දුව වේගයෙන් ඇදීයාමේදී ගැටලුවක් නිර්මාණය වීම වළක්වනු නොහැකිය. එහෙයින් මෙම තරගාවලියේදීද කාසියේ වාසිය යම් තීරණාත්මක බවක් ලබාදෙනු ඇත.

කෙසේ වෙතත් සත්කාරකයින් වශයෙන් ශ්‍රී ලංකාව වැඩි කැමැත්තක් දක්වන්නේ ප්‍රතිවාදී ඉනිම නිරික්ෂණය කරමින් තමන්ගේ ඉනිම ගොඩනගා ගැනීමටය. එහෙයින් ඇතැම් විට ඔවුන් දෙවනුව පන්දුවට පහරදීම සම්බන්ධයෙන් මානසිකව කැමැත්ත දැක්වීමට ඉඩ ඇත. එහෙත් ගැටලුව ඇත්තේ කාලගුණය හැසිරෙනු ඇත්තේ කවරාකාරයෙන්ද යන්න සම්බන්ධවය.

ප්‍රේමදාස පිටියේ පරාජිත වාර්තාව

ආර්.ප්‍රේමදාස පිටියේ ශ්‍රී ලංකාව සහභාගිවූ පන්දුවාර විස්සයි විස්ස තරග දිනා ඇත්තේ දෙකක් පමණි. මෙම පිටියේ තරග 14ක් සඳහා තරග වැදී ඇති ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් 12 කදී පරාජය ලබා තිබේ. ඒ අනුව ආර්. ප්‍රේමදාස පිටිය ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් වැඩි වාසි දෙන ක්‍රීඩාංගණයක් නොවන අයුරින් පසුගිය කාලවකවානුව පුරා හැසිරී ඇත. ඒ අනුව මෙවර නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී වඩා සූක්ෂ්ම ලෙස තරග වැදීමට ශ්‍රී ලංකා පිලට සිදුවීම වළකනු නොහැකිය. ඒ විවිධ අනාවැකි සම්බන්ධයෙන් නොසලකා හරිමින් දිනයේ වඩාත් සාර්ථකවන  කණ්ඩාම බවට පත්වීම සඳහාය. එය ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මෙන්ම සෙසු පුහුණුකාර මණ්ඩලය මෙන්ම ක්‍රීඩකයන් ඉදිරියේද ගොඩනැගී ඇති අභියෝගයක් ලෙස සැලකිය හැකිය. මේ අතර ආර්. ප්‍රේමදාස පිටියේ ඉන්දීය කණ්ඩායම පන්දුවාර විස්සයි විස්ස තරග හයකට සහභාගිවී ඇති අතර ඉන් පරාජය ලබා ඇත්තේ එක් තරගයක් පමණි.  ඒ අනුව ආර්. ප්‍රේමදාස පිටියේ ඔවුන්ගේ සාර්ථකත්වයේ ප්‍රතිශතය සියයට අසූව ඉක්මවයි. එහෙයින් ඔවුන් නිදහස් කුසලානය සඳහා මුහුණ දෙන්නේ වාර්තා අනුව ගත් කලද උපරිම නිදහස් භාවයෙනි. සියලු අනාවැකි තම කණ්ඩායමට වාසි සහගත වුවද ඉන්දීය නායක රෝහිත් ෂර්මා ඉදිරියේ අලුත් පීඩනයක් ඉතිරිව තිබේ. එනම් තම කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කරගැනීමය. ඒ මන්දයත් විරාත් කෝලිගේ නායකත්වය යටතේ ඉන්දීය කණ්ඩායම ලෝකය තුළ අත්පත් කරගත් කීර්තියක් ඇත. ඒ කීර්තිය රැකගැනීමෙ වගකීම ඇත්තේ ෂර්මා ඇතුළු යෞවනයන් වැඩි දෙනෙකු ඇතුළත්ව ඇති ඉන්දීය කණ්ඩායමටය. පිඟන් බිඳුණු පසු පඩි කැපෙන්නේ පිඟන් සෝදන්නාගේ මිස පිඟන් බාරව සිටි මුදලාලිගේ නොවේ. ඒ අනුව ඉන්දීය නායකයාට හා කණ්ඩායමට ආර්.ප්‍රේමදාස පිටියේ අතීත වාර්තාව තවත් අභියෝයකි. එම අභියෝගයට මුහුණදීම සඳහා ඔවුන් දරණා උත්සහය අද තරගයේ උණුසුම වැඩිකරනු ඇත.