කඩුල්ල පිටුපස අත්ආවරණ චන්දිමාල්ට

 ඡායාරූපය:

කඩුල්ල පිටුපස අත්ආවරණ චන්දිමාල්ට

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා අවසන් සංචිතය ක්‍රිකට් ආයතනය විසින් නම්කර තිබේ. ජාතික තේරීම් කමිටුව විසින් නම්කර ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අනුමත කරන ලද මෙම 15 දෙනාගේ සංචිතයේ කඩුල්ල පිටුපස රාජකාරි පැවරී ඇත්තේ නායක දිනේෂ් චන්දිමාල් වෙතය. නිරෝෂන් දික්වැල්ල අවසන් 15 දෙනාගේ සංචිතයෙන් ඉවත්කිරීමට තේරුම් කමිටුව කටයුතු කර තිබේ. මේ අතර ධනංජය ද සිල්වා පන්දුවාර විස්සයි විස්ස සංචිතයට නම් කිරීමටද එම තේරීම් කමිටුව කටයුතු කර ඇත.

දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්, ධනංජය බංග්ලාදේශ සංචාරයට අයත් නොවූ නමුත් කණ්ඩායමට කැඳවා ඇති ක්‍රීඩකයන්ය. ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ සංචාරයෙන් ඉවත්ව සිටි කුසල් ජනිත් පෙරේරා යළි සංචිතයට ඇතුළත්ව ඇත. කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට පවරා ඇත්තේ පන්දුවාර විස්ස හා එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් කලවේ මාංශ පේශි ආශ්‍රිතව තවමත් පීඩා විඳමින් සිටීම හේතුවෙනි. උපනායකත්වය සුරංග ලක්මාල්ට හිමිවී තිබේ. හීරෝ නිදහස්

කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති අවසන් සංචිතය මෙසේයි.

දිනේෂ් චන්දිමාල් (නායක), සුරංග ලක්මාල් (උප නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්,  ඉසුරු උදාන, අකිල ධනංජය, අමිල අපෝන්සු, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ධනංජය ද සිල්වා.