රොනාල්ඩෝ හා හැරී කේන් එක්වුණු අමරණීය ත්‍රිත්ව සමාජය

 ඡායාරූපය:

රොනාල්ඩෝ හා හැරී කේන් එක්වුණු අමරණීය ත්‍රිත්ව සමාජය

රුසියාවේදී ආරම්භවූ විසි එක් වැනි පාපන්දු තරගාවලියේ දෙවැනි දිනයේදීම පිට පිට ගෝල තුනක් (Hat-trick) වාර්තා කිරීමට පෘතුගාල කණ්ඩායමේ නායක සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් විය. ඉන් පසුව එංගලන්ත නායක හැරී කේන් ද රොනාල්ඩෝට දෙවැනි නොවෙමින් පැනමාවට එරෙහිව ගෝල් ත්‍රිත්වයක් ලබා ගත්තේය.

නමුත් මෙවර තරගාවලියේ සහභාගී වූ පළමු තරගයේදීම ගෝල් ත්‍රිත්වයක් ලබාගත් 33 හැවිරිදි රොනාල්ඩෝ ඒ අතරින් සුවිශේෂය. ලෝක ශූරතා පාපන්දු ඉතිහාසයේ එවැනි දස්කමක් කළ වයස්ගතම ක්‍රීඩකයා ඔහුය. එසේම රොනාල්ඩෝගේ ගෝල් ත්‍රිත්වය ලෝක කුසලාන තරග ඉතිහාසයේ 51 වැනි ගෝල් ත්‍රිත්වය ලෙසද සැලකෙයි. හැරී කේන් වාර්තා කළේ 52 වැනි ගෝල් ත්‍රිත්වයයි. එවැනි දස්කමක් කළ 49 වැනිනා කේන්ය.

පාපන්දු ලෝක ශූරතා තරගාවලි ඉතිහාසයේ පළමු ගෝල් ත්‍රිත්වය වාර්තා කර ඇත්තේ 1930 උරුගුවේහි පැවති පළමු ලෝක ශූරතා පාපන්දු තරගාවලියේදීය. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ බේට් පැටෙනවුඩේ විසින් පැරගුවේ කණ්ඩායමට එරෙහිවය. එම තරගයෙන් ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම ගෝල 3-0ක ජයක් ලබා ගැනීමට සමත් විය.

එම තරගාවලියේදීම තම පළමු ජාත්‍යන්තර තරගයට සහභාගී වූ ආර්ජන්ටිනාවේ ගුයිලෙමාර් ස්ටැබලේ මෙක්සිකෝවට එරෙහිව ගෝල් ත්‍රිත්වයක් වාර්තා කරමින් එවැනි දස්කමක් කළ පළමු වැන්නා බවට පත් විය.

එකම තරගාවලියකදී ගෝල් ත්‍රිත්වයන් ද්විත්වයක් වාර්තා කළ ක්‍රීඩකයින් තිදෙනෙකු සිටිති. ඉන් පළමු වැන්නා 1954 ස්විට්සර්ලන්තයේදී දකුණු කොරියාවට සහ බටහිර ජර්මනියට එරෙහිව ගෝල් ත්‍රිත්වයන් දෙකක් වාර්තා කළ හංගේරියාවේ සැන්ඩෝර් කොක්සිස් ය. කොක්සිස් බටහිර ජර්මනිය සමග තරගයේදී ගෝල 4ක් වාර්තා කර තිබුණි. දෙවැන්නා ප්‍රංශයේ ජස්ට් ෆොන්ටේන් ය. ෆොන්ටේන් 1958 ස්වීඩනයේ පැවති තරගාවලියේදී පැරගුවේ කණ්ඩායමට සහ බටහිර ජර්මනියට එරෙහිව ගෝල් ත්‍රිත්වයන් වාර්තා කර ඇත. ෆොන්ටේන්ද බටහිර ජර්මනියට එරෙහිව පැවති තරගයේදී ගෝල 4ක් වාර්තා කිරීමට සමත්ව තිබේ. ජර්මනියේ ගර්ඩ් මුලර් 1970මෙක්සිකෝවේ පැවති තරගාවලියේදී බල්ගේරියාව සහ පේරු කණ්ඩායම්වලට එරෙහිව ගෝල ත්‍රිත්වයන් දෙකක් වාර්තා කර ඇත්තේය.

ආර්ජන්ටිනාවෙන් බිහිවූ සුපිරි පාපන්දු තරුවක් මෙන්ම ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල් ලබාගත් ආර්ජන්ටිනා ක්‍රීඩකයා වන ගේබ්‍රියෙල් බැටිස්ටුටා ගෝල් ත්‍රිත්වයන් දෙකක් වාර්තා කළ සිව්වැන්නායි. ඊට අමතරව තරගාවලි දෙකකදී ගෝල ත්‍රිත්වයන් වාර්තා කළ එකම ක්‍රීඩකයාද බැටිස්ටුටාය. ඒ 1994 සහ 1998 තරගාවලියන්හිදීය.

එකම තරගයක ගෝල් ත්‍රිත්ව දෙකක් වාර්තා වන්නේ 1938 තුන්වැනි ලෝක ශූරතා පාපන්දු තරගාවලියේදිය. ප්‍රංශයේ පැවති එම තරගාවලියේ ස්වීඩනය සහ කියුබාව අතර පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ස්වීඩනයේ ගුස්ටාව් වෙටර්ස්ට්‍රෝම් සහ හැරී ඇන්ඩර්සන් විසින් ගෝල ත්‍රිත්වයන් බැගින් ලබා ගෙන ඇත. එම තරගය ස්වීඩනය ජය ගෙන ඇත්තේ ගෝල 8-0ක් ලෙසිනි.

තරගයක් ආරම්භ කර ඉක්මනින්ම ගෝල් ත්‍රිත්වයක් වාර්තා කළ ක්‍රිඩකයා වන්නේ ඔස්ට්‍රියාවේ එරික් ප්‍රොබ්ස්ට් ය. ඔහු 1954 තරගමාලාවේදී චෙකොස්ලොවැකියාවට එරෙහිව 4, 21 සහ 24 වැනි මිනිත්තුවලදී ගෝල වාර්තා කරමින් ඉක්මන්ම ගෝල් ත්‍රිත්වය ලබා ගෙන ඇත.

කෙටි කාලයකින් වාර්තා කළ ගෝල් ත්‍රිත්වයට හිමිකම් කියන්නේ හංගේරියාවේ ලැසලෝ කිස් විසිනි. 1982තරගාවලියේදි එල් සැල්වදොර් කණ්ඩායමට එරෙහිව 69, 72 සහ 76 මිනිත්තු වලදී ගෝල් ත්‍රිත්වයක් ලබා ගැනීමට ඔහු සමත් විය. එම ගෝල් ත්‍රිත්වය සඳහා වැය වී තිබුණේ මිනිත්තු 7ක කාලයකි. බ්‍රසීලයේ සුපිරි පාපන්දු වීරයා වන පේලේද 1958 ස්වීඩනයේ පැවති 6වැනි තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ප්‍රංශයට එරෙහිව ගොල් ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය. එවක 17 හැවිරිදි පේලේ ගෝල ත්‍රිත්වයක් ලබාගත් ලාබාලම ක්‍රීඩකයාය. අවසන් මහා තරගයකදී ගෝල් ත්‍රිත්වයක් වාර්තා වී ඇත්තේ 1966 එංගලන්තයේ පැවති අටවැනි තරගාවලියේ අවසන් තරගයේදී එංගලන්තයේ ජේෆ් හර්ස්ට් විසින් බටහිර ජර්මනියට එරෙහිවය. තරගයෙන් එංගලන්තයට ගෝල 4-2ක ජයක් හිමිවිය.

ගෝල් ත්‍රිත්වයන් ලබාගත් ක්‍රීඩක ලැයිස්තුවට අප්‍රිකාවේ හෝ ආසියාවේ එකදු ක්‍රීඩකයෙක් හෝ ඇතුළත්ව නොමැති වීමද විශේෂත්වයකි.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා