පෘතුගාලයට සටනක්දී ඉරානය ගෙදර යයි

 ඡායාරූපය:

පෘතුගාලයට සටනක්දී ඉරානය ගෙදර යයි

උරුගුවේ අපරාජිතව දෙවැනි වටයට - රුසියාව පළමු පරාජය ලබයි

රොනාල්ඩෝත් දඬුවම් පහරින් අසමත්

දෙවැනි වටයට සුදුසුකම් නොලැබුවද තමන් සහභාගී වූ මූලික වටයේ අවසන් තරගයේදී අවසන් මිනිත්තු පහේදී ගෝලයක් වාර්තා කරමින් ප්‍රබල පෘතුගාලය සමග කරට කර සටනක නිරතවූ ඉරානය ගෝල 1-1ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් විය.

මෝර්ඩෝවියා ක්‍රිඩංගණයට රැස්වූ ප්‍රේක්ෂකයින්ට ඉතා තියුණු තරගයක අවසානයක් නැරඹීමේ අවස්ථාව උදාකර දුන් ඉරානය තරගය ආරම්භයේ සිටම සටන්කාමී තරගයක නිරත විය. තරගයේ අවසන් මිනිත්තු 20 කාලයේදී සම්පූර්ණයෙන්ම තරගයේ පාලනය තමන් අතට ගත් ඉරානය බලාපොරොත්තු නොවූ අභියෝගයක් පෘතුගාලයට එල්ල කළේය. දෙවැනි භාගය ආරම්භයේ සිටම ගෝලයක් රැස් කිරීම සඳහා අවස්ථා කිහිපයකදිම කළ උත්සාහය මල්පල ගන්වමින් අතිරේක මිනිත්තු අටෙන් තුන්වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගත් කරීම් අන්සාරිෆාඩ් ‘බී’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට පෘතුගාලයට තිබූ අවස්ථාව අහිමි කළේය. එසේම දෙවැනි වටයට සුදුසුකම් නොලැබුවද ගෞරවාන්විත සටනක නිරතවීමෙන් අනතුරුව මෙවර තරගාවලියට සමු දුන්නේ යළි වසර හතරකට පසු මීටත් වඩා ප්‍රබලව යළි හමුවන බවට දිවුරා පොරොන්දු වෙමිනි.

තරගය ආරම්භ කළ අවස්ථාවේදී වැඩි වාර ගණනක් පන්දුවේ පාලනය තමන් සතු කර ගත් පෘතුගාලය 45 වැනි මිනිත්තුවේදී තම අරමුණ සාර්ථක කර ගැනීමට සමත් විණි. ඒ මැද පෙළ ක්‍රීඩක රිකාඩෝ ක්වරෙස්මා ගෝලයක් ලබා ගැනීමත් සමගය.

ඉන් ඉදිරියට පැමිණි පෘතුගාලය අවස්ථා කිහිපයකදීම ඉරාන ගෝල සීමාව ආක්‍රමණය කළද ඉරාන දැල් රකින්නාවන අලිරේසා බීරැන්වාඩ් ගේ සුපිරි දක්ෂතා නිසා ඒ සෑම අවස්ථාවක්ම වැලකී ගියේය. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එල්ල කළ දඬුවම් පහරක්ද රැකගනිමින් ඔහු සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට සමත් විය.

උරුගුවේ - රුසියාව

සත්කාරක රුසියාවට තරගාවලියේ පළමු පරාජය අත්කර දුන් උරුගුවේ කණ්ඩායම තමන් සහභාගිවූ තුන්වැනි තරගයේ ජයද අඛණ්ඩව වාර්තා කිරීමට සමාරා ක්‍රිඩාංගණයේදී සමත් විය. සත්කාරකයින්ගේ ජයග්‍රාහී ගමන වලාකාලමින් තරගයේ 10 වැනි මිනිත්තුවේදී ලැබුණු නිදහස් පහරක් ඉතා දක්ෂ ලෙස සාර්ථක කරගත් ලුයිස් සුවාරෙස් උරුගුවේ පිල පෙරට ගෙන යාම ඇරඹීය. එම අවස්ථාව තරගාවලියේ රුසියාව පසු පසට ගිය පළමු අවස්ථාව ලෙසද දැක්විය හැකිය.

තමන් ලබාගත් එම ග්‍රහණය දිගටම රඳවා ගත් උරුගුවේ කණ්ඩායම රුසියානු ගෝල සීමාවේම පන්දුව රඳවා ගැනීමට සමත් වීමේ ප්‍රතිඵලයක් ලෙස 23 වැනි මිනිත්තුවේදී රුසියානු මැද පෙළ ක්‍රීඩක ඩෙනිස් චෙරිෂෙව් උරුගුවේ ප්‍රහාරයක් වැළැක්වීමට යාමේදී සිදුවූ අතපසුවිමකින් දැල් රකින අකීන්ෆීව්ට පන්දුව රැක ගැනීමට කිසිදු ඉඩක් ලබා නොදී ඕන් ගෝලයක් වාර්තා විණි. 36 වැනි මිනිත්තුවේදී ආරක්ෂක පෙළ ක්‍රීඩක ඉගෝර් ස්මොල්නිකොව්ගේ නීති විරෝධී ක්‍රියාවක් හේතුවෙන් විනිසුරු විසින් පිටියෙන් ඉවත් කරන ලද්දේ රුසියාව තවත් අසීරු අඩියකට ඇද දමමිනි.

දෙවැනි අර්ධයේදීද ගෝල කිහිපයක්ම ලබා ගැනීමේ අවස්ථාවන් උරුගුවේ පිලට උදාවූවත් ඉන් සාර්ථක වූයේ තරගය අවසන් වීමට මිනිත්තු පහක් තිබියදී එඩින්සන් කැවානිගේ උත්සාහයයි. ඒ අනුව ගෝල 3-0ක ජයක් උරුගුවේ පිලට හිමිවිණි.

ස්පාඤ්ඤය - මොරොක්කෝව

‘බී’ කොටසේ පළමු ස්ථානය ලබා ගැනීම සඳහා ස්පාඤ්ඤයට තිබූ අවස්ථාව අහිමිකළ මොරොක්කෝව තමන් තරගාවලියේ සහභාගී වූ හොඳම තරගය බවට පළමු වටයේ අවසන් තරගය පත් කර ගැනීමට සමත් විය. මෙම තරගයට පෙර තමන් තරගාවලියෙන් ඉවත් වන බව දැන සිටියද ප්‍රබල ස්පාඤ්ඤයට දැවැන්ත අභියෝගයක් එල්ල කිරීමට මොරොක්කෝවට හැකි විය.

කලිනින්ග්‍රෑන්ඩ් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමු ගෝලය රැස් කරන ලද්දේ මොරොක්කෝවේ කාලිඩ් බොවුටායිබ් විසිනි. ඒ තරගයේ 14 වැනි මිනිත්තුවේදීය. ඒ සමගම ස්පාඤ්ඤයේ ඉස්කෝ සුවාරෙස් 19 වැනි මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීම නිසා පළමු අර්ධය අවසන් වන විට දෙපිලම ගෝල් 1-1ක් ලෙස සම තත්ත්වයේ පසු විය.

දෙවැනි අර්ධයේ අවසන් මිනිත්තු 20 දක්වාම ගෝල රැස් කිරීමට දෙපිලටම නොහැකි විණි. 81 වැනි මිනිත්තුවේදී යූසෙෆ් එන් නෙසෙරි මොරොක්කෝව වෙනුවෙන් දෙවැනි ගෝලය වාර්තා කිරීමට සමත් වීමත් සමගම තරගය ජය ගැනීම පිළිඳව මොරොක්කෝ නරඹන්නන් තුළ බලාපොරොත්තු දැල්වුණේය. එහෙත් අවසන් මිනිත්තු හයකට පෙර ස්පාඤ්ඤයේ ඇගෝ ඇස්පාස් වාර්තා කළ ගෝලය හේතුවෙන් මොරොක්කෝ බලාපොරොත්තු සුන්වී ගියේය.

වොල්ගොග්‍රෑඩ් හි පැවැති අනෙක් තරගයේදී ඊජිප්තුව පරාජය කරමින් ගෝල 2-1ක ජයක් ලැබීමට සෞදි අරාබිය සමත්විය.

[(ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා