විචාරක අබිසෙස් ලැබූ ජර්මනිය හඬවා මෙක්සිකෝව ජයපැන් බොයි

 ඡායාරූපය:

විචාරක අබිසෙස් ලැබූ ජර්මනිය හඬවා මෙක්සිකෝව ජයපැන් බොයි

ඉරිදා සවස මොස්කව්හි ලුෂ්නිකි ක්‍රීඩාංගණයට රැස්වූ දහස් ගණනක්වූ ජර්මානු පාපන්දු ලෝලීන් කඳුළු සයුරක ගිල්වාලූ මෙක්සිකෝව මෙවර තරගාවලියේ තමන් සහභාගීවූ පළමු තරගයෙන්ම ලෝක ශූර ජර්මනිය ගෝල 1-0ක් ලෙස පරාජය කිරීමට සමත් විය. මෙම කණ්ඩායම් දෙක තරගාවලියට එක්ව සිටින්නේ එෆ් කාණ්ඩයෙනි. පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි ජර්මනිය අංක එකේ කණ්ඩායම වු අතර මෙක්සිකෝව පසුවූයේ 15 වැනි ස්ථානයේය. තරයෙන් අනතුරුව මෙක්සිකෝ අගනුවර වන මෙක්සිකෝ සිටිහි ජනතාව වීදි බැසි ඔල්වරසන් දෙනු විදෙස් රූපවාහිනී නාළිකා මගින් විකාශය කරනු ලැබූහ. මෙම ජයග්‍රහණය ඔවුන්ට දෙවැනි වන්නේ ලෝක පාපන්දු කුසලාන ජයග්‍රහණයට පමණි.

මෙවර තරගාවලියේ ප්‍රධානම ක්‍රීඩාංගණය වන ලුෂ්නිකි ක්‍රීඩාංගණයට රැස්ව සිටි කිසිවෙක් බලාපොරොත්තු නොවූ ලෙස තරගයේ පළමු මිනිත්තුවේ සිටම ජර්මනිය මෙන්ම මෙක්සිකෝවද ආක්‍රමණශීලී තරග රටාවක නිරත විය.

ප්‍රබල ජර්මන් ආක්‍රමණ හමුවේ පවා මෙක්සිකානුවන් තමන්ගේ ප්‍රධාන ප්‍රහාරකයින් කිසිවිටෙක පසුපසට නොගත් අතර ඔවුන් දෙදෙනා සෑම අවස්ථාවකම තමන්ට පන්දුව ලැබෙන තුරු බලා සිටියේ වේගවත් ආක්‍රමණක් දියත් කිරීමටය. එම උපක්‍රමය පල දරමින් අවස්ථා කිහිපයකදීම ගෝලයක් ලබා ගැනීමේ ආසන්න අවස්ථාවන්ට ළඟා වීමට මෙක්සිකානුවන් සමත් වුවත් එය සාර්ථක වුණේ තරගයේ 35වැනි මිනිත්තුවේදීය.

මෙක්සිකානු මැදපෙළ ක්‍රීඩක හර්වින්ග් ලෙසානෝ විසින් කල්යල් බලා එල්ල කරන ලද පහර රැක ගැනීමට මෙවර තරගාවලියේ ප්‍රබලම දැල් රකින්නා වන ජර්මන් නායක මැනුවෙල් නෝයාර්ට නොහැකි විය. මෙක්සිකෝව ගෝලය රැස්කළ කම්පනයෙන්ම තරගයේ පළමු අර්ධය අවසන් විය. දෙවැනි අර්ධයේදී පන්දුවේ පාලනය නිරන්තරව තමන් සතු කර ගැනීමට ජර්මනිය ක්‍රියා කළද තමන්ට පන්දුව ලැබෙන සෑම අවස්ථාවකම ජර්මන් දැල් සීමාව වේගවත්ව ආක්‍රමණය කිරීමට මෙක්සිකෝව සමත්විය. විශේෂයෙන්ම තරගයේ අවසන් මිනිත්තුව දක්වාම මෙක්සිකෝව පවත්වාගෙන ගිය වේගවත් ක්‍රීඩා විලාශය ජර්මනියට මහත් හිසරදයක් විය.

එම නිසාම ජර්මන් ඇතුළු යුරෝපා පාපන්දු ලෝලීන් හඬවමින් සහ ලතින් ඇමරිකානු පාපන්දු ලෝලීන් ප්‍රීතියෙන් කුල්මත් කරවමින් තමන් සහභාගී වූ පළමු තරගයේ ජය වාර්තා කිරීමට මෙක්සිකෝව සමත් විණි. ජර්මනිය තමන් සහභාගීවූ ලෝක ශූරතා පාපන්දු තරගාවලියක පළමු තරගය පරාජය වූ පළමු අවස්ථාවද මෙය ලෙස පාපන්දු ඉතිහාසයට එක්ව තිබේ. එසේම මෙක්සිකෝව තමන් සහභාගී වූ ලෝක ශූරතා අවසන් තරගාවලි හය තුළදී පළමු තරගය ජයගත් පස්වැනි අවස්ථාව මෙයයි.

පසුගිය ලෝක ශුරතා තරගාවලි දෙකේදීමද හිටපු ශූරයන් පළමු තරගයේදී අසමත් වීමද මෙහිදී අමතක නොකළ යුතුය. 2006 ශූරයින්වූ ඉතාලිය 2010 පළමු තරගයේදී පෘතුගාලය සමග තරගය ගෝල 1-1ක් ලෙස ජය පැරදුමෙන් තොරව අවසන් කරගත් අතර 2010 ශූරයින්වූ ස්පාඤ්ඤය 2014 තරගාවලියේ ඔවුන්ගේ පළමු තරගයේදී නෙදර්ලන්තය අතින් ගෝල 5-1ක් ලෙස දරුණු පරාජයක් ලැබීය.

බ්‍රසීලය 1-1 ස්විට්සර්ලන්තය

රොස්ටොව් ක්‍රීඩාංගණයේදී ලොව අංක දෙකේ පාපන්දු කණ්ඩායමවන බ්‍රසීලය හමුවේ ගෝල 1-1ක් ලෙස තරගය ජය පරාජයකින් තොරව අවසන් කරගත් ස්විට්සර්ලන්තය මෙවර තරගාවලියේ පෙරළි පිට පෙරළි සිදුවිය හැකි තරගාවලියක් බවට මේවන විට ඉඟිකර අවසන්ය. එසේම තමන්ව අංක 6 කණ්ඩායම ලෙස ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් කිරීමද අතිශය සාධාරණ බව ස්විස් ක්‍රීඩකයෝ ලොවට පෙන්වූහ.

තරගය ආරම්භයේදී ස්විට්සර්ලන්තය ආරක්ෂාකාරී ලෙස ක්‍රීඩාකළ අතර බ්‍රසීලය ආක්‍රමණශීලී තරග රටාවක නිරත විය. ඒ නිසාම තරගයේ 20 වැනි මිනිත්තුවේදී බ්‍රසීල මැදපෙළ ක්‍රීඩක පිලිපේ කුටීනෝ විසින් කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් විය. ඉන්පසුව ස්විට්සර්ලන්තයද ඔවුන්ගේ තරග රටාව වඩා ආක්‍රමණශීලී විලාශයකට යොමු කරමින් තරග වැදුණද පළමු අර්ධය අවසන් වන විට ගෝල 1-0ක් ලෙස ඉදිරියෙන් සිටියේ බ්‍රසීලයයි.

දෙවැනි අර්ධයේ පස්වැනි මිනිත්තුවේදී ලැබුණු කෝනර් පහරක් ප්‍රයෝජනයට ගත් ස්විස් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩක ස්ටීවන් සුබේර් හිසෙන් පන්දුව දැල තුළට යොමු කරමින් බ්‍රසීලය ලබා තිබූ ජයග්‍රහණයක් ඔවුන්ට අහිමි කළේය. ඉන්පසුව තරගය අවසන් වනතුරු කිසිදු ගෝලයක් වාර්තා කිරීමට දෙපිලටම නොහැකි විය. විශේෂයෙන්ම සුපිරි බ්‍රසීල ක්‍රීඩක නේමාර්ට සිය සුපුරුදු දස්කම් දක්වන්නට ඉඩ ලබා නොදීමට ස්විස් ක්‍රීඩකයින් සමත්වීමද විශේෂිතය.

 

මාතෘකා