ලුෂිනිකි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විචිත්‍රවත් සමාරම්භක උළෙල සමඟින් ලෝක පාපන්දු සටන අද ඇරඹෙයි

 ඡායාරූපය:

ලුෂිනිකි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විචිත්‍රවත් සමාරම්භක උළෙල සමඟින් ලෝක පාපන්දු සටන අද ඇරඹෙයි

අද තරගය

ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.30ට ආරම්භ වීමට නියමිතය.

වසර හතරකට වරක් සංවිධානය කරන ජගත් පාපන්දු මෞලි මංගල්‍යය අද රුසියාවේ මොස්කව් අගනුවර ලුෂිනිකි ක්‍රීඩාංගණයේදී ආරම්භවේ. තරගාවලිය සඳහා සහභාගි වීමට සුදුසුකම් ලබා ඇති කණ්ඩායම් 32ට ඇතුළත් සියලු ක්‍රීඩකයන් මේ වන විට රුසියාව වෙත පැමිණ ඇති අතර පෙර පුහුණු තරගවලටද ඔවුහු සහභාගි වූහ. අද පැවැත්වෙන එහි සමාරම්භක උත්සවය අතිශය විචිත්‍රවත් ලෙස පැවැත්වීමට සංවිධාකයින් මේවන විට පුල පුලා බලා සිටිති. එය රුසියානු ක්‍රීඩාවේ, සංස්කෘතියේ මෙන්ම දේශපාලනයේ ඔද තෙද පෙන්වන අතිවිචිත්‍ර සැමරුම් උළෙලක් වනු නොඅනුමානය.

සුපිරි බ්‍රසීලියානු පාපන්දු තරුවක් වන රොනාල්ඩෝ සමඟ ජනප්‍රිය ගායක රොබී විලියම්ස් සහ රුසියානු ඔපෙරා ශිල්පිනී අයිඩා ගැරිෆුලිනා තරගාවලියේ සමාරම්භක උළෙල වර්ණවත් කිරීමට නියමිතය.

සමාරම්භක උත්සවය සහ පළමු තරගය පැවැත්වෙන මොස්කව් ලුෂ්නිකි ක්‍රීඩාංගණය 1954 වසරේ ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර දින 450ක් තුළදී සම්පූර්ණයෙන්ම වැඩ නිමවා 1956 ජුලි 31වැනිදා නිල වශයෙන් විවෘත කරන ලද්දකි. ඔලිම්පික් ක්‍රීඩා සංකීර්ණයක් ලෙස ඉදිකර ඇති ලුෂ්නිකි ක්‍රීඩාංගණය 1980 සෝවියට් දේශය සත්කාරකත්වය දැක්වූ මොස්කව් ඔලිම්පික් උළෙලේ ප්‍රධාන ක්‍රීඩාංගණය ලෙස යොදා ගත් අතර ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උළෙල මෙන්ම සමාප්ති උත්සවයද පවත්වා ඇත්තේ ද මෙහිමය. 21 වැනි පාපන්දු ලෝක ශූරතාවය සඳහා මෙම ක්‍රිඩාංගනය සම්පූර්ණයෙන් නවීකරණය කර ඇත.

මෙවර ලෝක ශූරතා තරගාවලිය සඳහා එල්ලවී ඇති ත්‍රස්තවාදී තර්ජනද සුලුපටු නොවේ. දශක ගණනාවක් සිටම ස්වාධීන රාජ්‍යයක් සඳහා සටන් වැද සිටින චෙච්නියා සටන්කාමීන්ගේ තර්ජන මෙන්ම සිරියාවේ බෂාර් අල් අසාද් රජයට සහය පළ කරමින් රුසියාව විසින් අයි.එස්. ත්‍රස්ත සංවිධානයට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් සිටින නිසා මෙවර තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගණ ලෙයින් නහවන බවට අයි.එස්. සංවිධානය දැනටමත් තර්ජනය කිරීම එහි දෙවැන්නයි. ක්‍රීඩාව අවිහිංසාවාදී වුවද එහි නියැලෙන ක්‍රීඩකයින් මෙන්ම නරඹන්නන්ද ඝාතනය කරන බවට අයි.එස්. ත්‍රස්තයන් දැනටමත් තර්ජනය කර ඇත.

 

ඊයේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තාකර තිබූ අන්දමට සිරියාවේ සටන් වැද සිටින අයි.එස්. ත්‍රස්තවාදීන් 900ක් මේ වනවිට රුසියාවට පැමිණ සිටින බවට විශ්වාස කෙරේ. ඒ නිසාම රුසියානු බලධාරීන් කලින් සැලසුම් ඉක්මවා යමින් තරගාවලියේ ආරක්ෂාව දැඩි කර ඇත. ඒ පිළිබඳව අන් රටවල්ද සෑහීමට පත්වන ලෙස ඔවුහු එම කටයුත්තේ නියැලෙමින්න් සිටිති.

ලුෂිනිකි ක්‍රීඩාංගණයේ තරගාවලියයේ පළමු තරගය පැවැත්වෙන්නේ ‘ඒ ’ කාණ්ඩයෙන් තරග වදින සත්කාරක රුසියාව සහ සෞදි අරාබිය අතරය. වර්තමානයේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 67වැනි ස්ථානයේ සිටින රට වන්නේ සෞදි අරාබියයි. රුසියාවට හිමිව ඇත්තේ එහි 70 වැනි ස්ථානයයි. ඒ අනුව කණ්ඩායම් දෙක අතර පරතරය විශාල නොවූවත් තම රටේ ක්‍රීඩාංගණයක තරගය පැවැත්වීම සහ ප්‍රේක්ෂකයින්ගේ ඇති වාසිය නිසා මෙම තරගයේදී රුසියාව මානසික වශයෙන් සෞදි අරාබියට වඩා ඉදිරියෙන් සිටී.

එසේම මේ දක්වා පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සත්කාරක රටක් පළමු තරගයේදී පරාජය වී නොමැත. එයද රුසියානුවන්ට මහත් මානසික ශක්තියකි. මෙයට පෙර මෙම කණ්ඩායම් දෙක මුණ ගැසුණු 1970 තරගාවලියේදී තරගය ගොල් 0-0 ක් ලෙස ජය පරාජයක් නොමැතිව අවසන්වී තිබීම මෙම තරගය කෙරෙහි ප්‍රේක්ෂක උද්වේගය ඉහළ දැමීමට හේතුවී තිබේ. සමාරම්භක තරගයට තරග වැදීමට තමන්ට අවස්ථාව හිමිවීම විශාල ගෞරවයක් ලෙස සැලකිය හැකි බව සෞදි අරාබිය දැනටමත් ප්‍රකාශ කර ඇත.

සමාරම්භක තරගයට පෙර අවසන් වශයෙන් පැවති තරග හතකට පසු රුසියාව විසින් දකුණු කොරියාව සුහද තරගයකදී පරාජය කළ අතර

සෞදි අරාබිය සහභාගී වූ අවසන් තරග තුනේදී ඉතාලිය, පේරු සහ ප්‍රබල ජර්මනිය හමුවේ පරාජය විය.

 

රුසියාවේ ප්‍රධාන ප්‍රහාරකයා වන්නේ මාරියෝ ෆර්නැන්ඩස්ය. ඊට අමතරව අද තරගයේදී රුසියානු ක්‍රීඩකයින් පස් දෙනෙකු පිළිබඳව වැඩි අවධානයක් යොමු වී ඇති අතර ඉන් ප්‍රමුඛ වන්නේ නායක සහ දැල් රකින්නා වන ඉගෝර් අකින්ෆේය. කණ්ඩායමේ වයස්ගතම ක්‍රීඩකයා වන 38 හැවිරිදි මැද පෙළ ක්‍රීඩක සර්ජි ඉග්නාෂෙවික්, ප්‍රහාරක මැද පෙළ ක්‍රීඩක 22 හැවිරිදි ඇලෙක්සැන්ඩර් ගොලොවින්, ප්‍රහාරක ෆියදොර් ස්මොලොව් සහ ඇලෙක්සැන්ඩර් සමෙඩොව් ඔවුන් ඉතිරි ක්‍රීඩකයින් සිව්දෙනාය. පසුගිය කාලයේ පෞද්ගලික දක්ෂතා අතින්ද ඔවුන් ඉදිරියෙන් පසුවූහ.

සවුදි කණ්ඩායමේ ඔසාමා හුසාවි, මොහොමඩ් අල්-ෂලාවි, තයිසිර් අල්-ජාසිම් සහ ෆහාඩ් අල්-මොලාඩ් කෙරෙහි වැඩි අවධානය යොමු වී තිබේ.

විචාරකයින් විසින් අද තරගයට සහභාගීවිය හැකි බවට විශ්වසය පළ කරන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්

රුසියාව - ඉගෝර් අකින්ෆේ (නායක), මාරියෝ ෆර්නැන්ඩෙස්, ෆෙඩ්රෝ කුඩ්රියෂොව්, සර්ජි ඉග්නාෂෙවික්, යූරි ෂීර්කොව්, රොමාන් සොබ්නින්, ඩලර් කුසියෙව්, ඇලන් ඩ්සගොව්, ඇලෙක්සැන්ඩර් සමෙඩොව්, ඇලෙක්සැන්ඩර් ගොලොවින් සහ ෆියදොර් ස්මොලොව්

සවුදි අරාබිය - අබ්දුල්ලා අල්-මයූෆ්, ඔසාමා හුසාවි, ඔමාර් හොසාවි, යසීර් අල්-ෂාහ්රානි, මොහොමඩ් අල්-බරීක්, අබ්දුල්ලා ඔටීෆ්, සල්මන් අල්-ෆරාජ්, යහියා අල්-ෂිහ්රි, තයිසිර් අල්-ජාසිම්, සලීම් අල්-දෝසාරි සහ ෆහාඩ් අල්-මොලාඩ්

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?