ශ්‍රී ලංකා ‘ඒ ’ පිෙල් බංග්ලාදේශ සංචාරය | ඇස පාදන රැස


ශ්‍රී ලංකා ‘ඒ ’ පිෙල් බංග්ලාදේශ සංචාරය

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ‘ඒ ’ පිෙල් බංග්ලාදේශ සංචාරය

ෂෙහාන් සහ මාලින්ද ඉවතට

සිව්දින තරග තුනක් සහ එක් දින තරග තුනකින් සමන්විත තරග සංචාරයක් සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ ’ ක්‍රිකට් පිල ලබන ජුනි 23 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතය.

තරගාවලිය ආරම්භ කරමින් පළමු සිව්දින තරගය මෙම මස 26වැනිදා ආරම්භවන අතර ලබන මාසයේ 22වැනිදා පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයෙන් සංචාරය නිමාවට පත්වේ.

තරගාවලිය සහා නම්කර ඇති ශ්‍රී ලංකා ‘ඒ ’ කණ්ඩායමට ඇතුළත්ව ඇති ක්‍රීඩකයින් සියලු දෙනා පසුගිය දා අවසන්වූ සුපිරි අන්තර් පළාත් සිව්දින සහ එක්දින තරගවලදී දක්ෂතා දැක්වූවන්ය. ඒ අතරට ටෙස්ට් ක්‍රීඩකයින් පස් දෙනෙක්ද ඇතුළත්ය. නායක දිමුත් කරුණාරත්න, උපනායක දසුන් ශානක, ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, ලහිරු තිරිමාන්න සහ ලක්ෂාන් සඳකැන් ඔවුන් හයදෙනාය. ඊට අමතරව එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා ශ්‍රී ලංකා පිල නියෝජනය කළ අෂාන් ප්‍රියන්ජන් සහ ශෙහාන් මධුශංකද බංග්ලාදේශය බලා යන කණ්ඩායමට ඇතුළත් කර ඇත.

පසුගිය සති අන්තයේ අවසන්වූ සුපිරි අන්තර් පළාත් එක්දින තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍රවූ ෂෙහාන් ජයසූරිය මෙන්ම හොඳම එක්දින පන්දුයවන්නා වූ මාලින්ද පුෂ්පකුමාර සංචිතයට ඇතුළත් නොවීමද විමතිය දනවන සිදුවීමකි.

සංචාරය සඳහා එක්වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පහත දැක්වේ.

දිමුත් කරුණාරත්න (නායක), දසුන් ශානක (උපනායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, ලහිරු තිරිමාන්න, අෂාන් ප්‍රියන්ජන්, චරිත් අසලංක, ශම්මු අෂාන්, මනෝජ් සරත්චන්ද්‍ර, ප්‍රභාත් ජයසූරිය, ලක්ෂාන් සඳකැන්, නිෂාන් පීරිස්, ශෙහාන් මධුශංක, නිසල් තාරක සහ ඩී. ගුණරත්න

තරගාවලියේ කාල සටහන

ජුනි 26-29 පළමු සිව්දින තරගය

ජුලි 03-06 දෙවැනි සිව්දින තරගය

ජුලි 10-13 තෙවැනි සිව්දින තරගය

ජුලි 17 පළමු එක්දින තරගය

ජුලි 19 දෙවැනි එක්දින තරගය

ජුලි 22 තෙවැනි එක්දින තරගය

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා