ලෝක පාපන්දුවේ මෞලි මංගල්‍යය හෙට ඇරඹෙයි

 ඡායාරූපය:

ලෝක පාපන්දුවේ මෞලි මංගල්‍යය හෙට ඇරඹෙයි

සියලුම රාජ්‍ය තාන්ත්‍රික අර්බුද, මත ගැටුම්, වාද විවාද සහ වර්ජනය කිරීම් පිළිබඳව වූ කතිකාවන් නිමා කරමින් ලෝක පාපන්දු ශූරතා තරගාවලිය හෙට රුසියාවේ මොස්කව් හි ලුෂ්නික් ක්‍රීඩාංගණයේදී ආරම්භවේ. ජර්මනිය ජයග්‍රහණයට සමීපවම ඇති තරගාවලියක් වශයෙන් සැලකෙන මෙවර තරගාවලිය විසි එක්වැනි වරට සංවිධානය කෙරේ. මෙහිදී ප්‍රධාන වන්නේ රුසියානු රහස් ඔත්තු සේවයේ නිලධාරියෙකු හා ඔහුගේ දියණිය එංගලන්තයේදී ඝාතනය කිරීමට උත්සහ කිරීම පිළිබඳව ඇතිවූ ආරවුලක් මත එංගලන්තය තරගාවලිය වර්ජනය කිරීමට සැරසීමයි. එම අවස්ථාවේදී පෝලන්තය, ජපානය සහ ඔස්ට්‍රේලියාවද එංගලන්තයේ සහයට පැමිණෙමින් ඔවුන්ද තරගාවලිය වර්ජනය කිරීමට සැරසුණි. නමුත් අවසානයේදී තම රටේදී තරග වදින ඉතිරි කණ්ඩායම් 31 රුසියාවට ගෙන්වා ගන්නට රුසියානු බලධාරින්ට හැකිවිය.

ඉන් පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අයි.එස් ත්‍රස්තවාදීන්ගේ තර්ජන මතුවූ අතර විශේෂයෙන්ම ලයනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යන සුපිරි පාපන්දු ක්‍රීඩකයින් ක්‍රීඩංගණ තුළදීම ඝාතනය කරන බවට තර්ජන එල්ලවුණි. එම තර්ජන තවම එසේම පැවතියද එම ක්‍රීඩකයින් දෙදෙනා ඇතුළු තරගාවලියට සහභාගීවන සියලුම දෙනාගේ ආරක්ෂාව තමන් සහතික කරන බවට රුසියානු බලධාරීන් තහවුරු කර ඇත.

දැන් ඊළඟ පියවර තබමින් ජුනි 14 වැනිදා බටහිර ලෝකයේ ඇතුලු සියලුම දෙනාගේ ඇස් නිලංකාර කරවන සමාරම්භක උළෙලක් පැවැත්වීමට රුසියානු බලධාරීන් සැරසෙමින් සිටී. තමන් සතු නවීන තාක්ෂණය මෙන්ම දේශපාලන බලයද ප්‍රදර්ශනය කරන අවස්ථාවක් බවට එය පත්කර ගැනීම ඔවුන්ගේ එකම අභිප්‍රායයි. එය තම සාම්ප්‍රදායික පසමිතුරාවන ඇමරිකාවට පෙන්වීමට නොහැකිවීම ඔවුන්ගේ කණස්සල්ලට හේතුවී ඇතත්, තවත් සාම්ප්‍රදායික පසමිතුරන් තිදෙනෙක් වන එංගලන්තය, පෝලන්තය සහ ජපානය ඉදිරියේ එය ප්‍රදර්ශනය කිරීමට රුසියාව සූදානම්ව සිටී.මෙතෙක් පාපන්දු තරගාවලියක ප්‍රධානය කරන ඉහළම මුදල් තෑග්ගද මෙවර රුසියාව විසින් පිරිනැමීමට නියමිතය. ඒ අනුව

තරගාවලියේ ශූරයින්ට ඇමරිකානු ඩොලර් මිලියන 38 ක් ද, අනු ශූරයින්ට ඇ. ඩො. මි. 28ක් හා තුන්වැනි ස්ථානයට ඇ. ඩො. මි. 24 ක්ද හිමිවේ. 4වැනි ස්ථානයේ සිට 8වැනි ස්ථානය දක්වා ඇ.ඩො. මි. 22 බැගින් හිමිවද්දී 5වැනි ස්ථානයේ සිට 8වැනි ස්ථානය දක්වා ඇ.ඩො.මි. 16 බැගින්ද, 9වැනි ස්ථානයේ සිට 16වැනි ස්ථානය දක්වා ඇ.ඩො.මි. 12 බැගින්ද 17වැනි ස්ථානයේ සිට 32වැනි ස්ථානය දක්වා ඇ.ඩො. මි. 8 බැගින්ද පිරිනැමීමට නියමිතය.

තවත් වසර හතරක කාලයක් සඳහා පාපන්දු ක්‍රීඩාවේ රජුන් වීමට මුහුණට මුහුණ උරෙනුර ගැටෙන පාපන්දු බලවතුන්ගේ සටනකි. රුසියාවේ ක්‍රීඩාංගණ වලදී දින 32ක් පුරා පැවැත්වෙන තරගාවලිය අවසානයේදී එම අභිෂේකය සිදුවීමට නියමිතය. ඒ ජුලි 15වැනිදාය. එතෙක් බොහෝ බලවතුන් ටික දිනකට තම රාජ්‍ය තාන්ත්‍රික කටයුතුද මදක් පසෙකට කර මෙම උද්වේග තරග නරඹනු රූපවාහිනිය මගින් අපට නැරඹිය හැකිය.

[ඩබ්ලිව්.ආර්. කුමාර]


ඇම්ස්ටර්ඩෑමයම කඳුළින් පුරවා නෙදර්ලන්තය ඉවතට

1934 සිට 2014 දක්වා අවස්ථා දහයකදී ලෝක පාපන්දු කුසලානය සඳහා තරග වැදුණු නෙදර්ලන්තයට මෙවර එම අවස්ථාව අහිමි විය. එය සුලුවෙන් තැකිය නොහැකි වන්නේ ඔවුන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීමවල 19වන ස්ථානයේ පසුවන අතරම යුරෝපා ශ්‍රේණිගත කිරීම්හි 10වැනි ස්ථානයේ පසුවන කණ්ඩායම වීම හේතුවෙනි.

ඊට අමතරව වසර 10ක් ලොව අංක 1 කණ්ඩායම ලෙස ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත්ව සිටි නෙදර්ලන්තය අවසානයේදී 2014 වසරේද ලොව අංක 1 කණ්ඩායම බවට පත්ව සිටියේය.

1974 මෙන්ම යුරෝපයෙන් පිටත පැවති 1978 සහ 2010 තරගාවලින්හි අනු ශූරයින් වූ ඔවුන් අවසන් වරට පැවති තරගාවලිය වූ 2014 බ්‍රසීලයේදී තුන්වැනි ස්ථානයට පත් විය.

2018 තරගාවලියට සුදුසුකම් ලැබීමමේ තරගවලදී ප්‍රදර්ශනය කළ දුර්වල ක්‍රීඩා විලාශය නිසා, ඔවුන්ට පරාජයන් 4ක් අත්විය.

බෙලරූස් 4-1 , ප්‍රංශය 1-0 , බල්ගේරියාව 2-0 , ප්‍රංශය 4-0 හමුවේ පරාජය වූ අතර ජයග්‍රහණ වාර්තා කළේ, ස්වීඩනය (2-0), ලක්සම්බර්ග්(3-1), ලක්සම්බර්ග් (5-0) තරග පමණි.

පසුගිය තරගාවලි දෙකේදීම සුපිරි දස්කම් ප්‍රදර්ශනය කළ රොබින් වැන් පර්සි, වෙස්ලි ෂ්නයිඩර්, ආයන් රොබින් සහ ලූක් ඩි ජොන්ග් වැනි ක්‍රීඩකයින්ගේ බලාපොරොත්තු ද බිඳ දමමින් මෙවර තරගාවලි වරම ඔවුන්ට අහිමි විය.


ඇමරිකාව

1930 පළමු ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ සිට එකොළොස් වතාවක් තරග වැදුනු ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට මෙවර තරගාවලිය අහිමි වූයේ පළමු වරට තරගාවලියයට සුදුසුකම් ලැබූ පැනමාව නිසාය. 1930 තරගාවලියේ තුන්වැනි ස්ථානය ලැබූ ඇමරිකාව 1994 තරගාවලියේ සත්කාරකත්වය දැරීය. එවර ඔවුන්ගේ සාම්ප්‍රදායික පසමිතුරාවන රුසියාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල 19වැනි ස්ථානය ලබමින් තරගාවලිය සඳහා ඇමරිකාවට පැමිණියේය. නමුත් මේවන විට ශ්‍රේණිගත කිරීම්හි 24වැනි ස්ථානයේ පසුවන ඇමරිකාවට රුසියාවට යාමට නොහැකිවීම දෙරටේම කණස්සල්ලට හේතුවී තිබේ.

 


ඉතාලිය

පිට පිටම ලෝක පාපන්දු ශූරතා තරගාවලි දෙකක් ජයගන්නා ලද පළමු රට වන්නේ ඉතාලියයි. ඒ 1934 සහ 1938 වසර වලදීය. ඉන් පසුව 1982 සහ 2006 වසරවලදී ද ලෝක ශූරතා ජයගනිමින් සිව් වරක් ශූරතාව දිනූ දෙවැනි රට බවටද ඔවුන් පත් විය. එසේම 1970 සහ 1994 වසරවලදී අනු ශූරතාව ලබා ගත්තේද ඉතාලියයි. 1934 මෙන්ම 1990 වසර වලදී තරගාවලි සඳහා සත්කාරකයන් වූයේද ඔවුන්ය. එසේම මේවන විට ඉතාලිය පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 20වැනි ස්ථානයේ පසුවන කණ්ඩායමයි.

නමුත් මෙවර තරගාවලියට පෙර ස්වීඩනය සමග පැවති අවසන් සුදුසුකම් ලැබීමේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීම නිසා තරගාවලිය සඳහා පිවිසීමට ඉතාලියට විවරව තිබූ දොර වැසුණු අතර ඒ වෙනුවට ස්වීඩනයට දොර ගුළු විවර විය. එ අවුව සිව් වරක් ලෝක පාපන්දු කිරුලේ පහස ලැබූ ඉතාලි පාපන්දු ලෝලීන් හඬවමින් ඉතාලිය නැවතත් සිය රට බලා පිටත් විය.

 

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?