ආර්ජන්ටිනාවේ රත්තරන් දෙපාදය ක්ලෝඩියො කැනිගියා

 ඡායාරූපය:

ආර්ජන්ටිනාවේ රත්තරන් දෙපාදය ක්ලෝඩියො කැනිගියා

1990 ඉතාලියේ පැවති 14වැනි ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා ආර්ජන්ටිනාව පැමිණියේ ඉතාමත්ම අපහසුවෙනි. තරගාවලියේ පළමු තරගයෙන්ම අනපේක්ෂිත ලෙස කැමරූන් කණ්ඩායම හමුවේ පරාජය වූ ඔවුන් ජය ගත්තේ රුසියාව සමග තරගය පමණි. අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැවති තරග හතර තුළදී වාර්තා කිරීමට සමත් වූයේ ගෝල 3කි. යුගොස්ලාවියාව සමග පැවති දෙවැනි වටයේ තරගය ජය ගත්තේ දඬුවම් පහර වලිනි.

අර්ධ අවසන් පූර්ව වටයේදී ආර්ජන්ටිනාවට මුණ ගැසුණේ බ්‍රසීලයයි. මෙතෙක් තරගාවලියේ ආර්ජන්ටිනාව ක්‍රීඩා කළ දුර්වල විලාසයත්, බ්‍රසීල කණ්ඩායම ප්‍රබල පිලක් වීමත් නිසා ඉතා පහසුවෙන් බ්‍රසීලය තරගය ජය ගෙන අවසන් පූර්ව වටය දක්වා ගමන් කරනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු විය.

අනෙක් අතට පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේදි බ්‍රසීලය හමුවේ ආර්ජන්ටිනාව එතෙක් ජයග්‍රහණයක් වාර්තා කර නොමැතිවීමද නිසා තරගය පිළිබඳව කල්තියා අනාවැකි පල කෙරිණි. තරගයේ 81වැනි මිනිත්තුව දක්වාම දෙපිලටම ගෝල් වාර්තා කිරීමට නොහැකි විය. පන්දුව වැඩි වශයෙන් රැඳුනේ බසීල පාර්ශවයේය. 81ක් වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනා නායක දියාගෝ මැරඩෝනා විසින් ලබා දුන් පන්දුවක් ක්ලෝඩියෝ කැනිජීයාට ලැබුණි.

තරග හතරක් පුරා එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට අසමත්ව සිටි කැනිජියා එහිදී යමක් කරාවියැයි. කිසිවෙකුට සිතුනේ නැත. එහෙත් අවසන් බ්‍රසිල ආරක්ෂක ක්‍රීඩකයාද මුලා කරමින් පන්දුව තම පාලනයට ගත් කැනිජීයා ඉතා අලංකාර ගෝලයක් ආර්ජන්ටිනාවට ලබා දුන්නේ නොසිතූ ජයක් තම පිලට ලබා දෙමිනි. එම තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ආර්ජන්ටිනාවට මුණ ගැසුණේ සත්කාරකත්වය දැරූ අති ප්‍රබල ඉතාලි කණ්ඩායමයි.

ඔවුන්ගේ ප්‍රධාන ප්‍රහාරකයින් වන සැල්වාර්ටෝ ෂිලාෂි ගෝල 5ක් ද රොබර්ටෝ බැගියෝ සහ තවත් ක්‍රීඩකයින් දෙදෙනෙක් ගෝල් 4 බැගින් ලබාගෙන සිටි අතර ඔවුන්ගේ දැල් රකින්නා වූ වෝල්ටර් සෙන්ගා එම තරග පහ පුරාවටම විනාඩි 450ක කාලයක් ප්‍රතිවාදීන්ට එකදු ගෝලයක් හෝ ලබා නොදී දැල් රකිමින් නව ලෝක වාර්තාවක්ද පිහිටුවි තිබුණි. තරගයේ 17වැනි මිනිත්තුවේදී ෂිලාෂි තරගාවලියේ තමන් ලබා ගත් 6වැනි ගෝලයද ලබා ගනිමින් ගෝල 1-0ක් ලෙස ඉතාලිය ජයග්‍රහණයේ මාවත කරා රැගෙන යාමට සමත් විය. තරගයේ 68වැනි විනාඩියවන විට ඉතාලි දැල් රකින්නා තම ලෝක වාර්තාව මිනිත්තු 518ක් දක්වා දීර්ගකර විශාල ආඩම්බරයකින් පසුවිය.

69 එක් වැනි මිනිත්තුවේදී පිටියේ මැද සිට ලබුණු නිදහස් පහරක් ගෝල සීමාවට මීටර් 15ක් පමණ දුරින් සිටි කැනිජියාට ලැබිණි සෙන්ගා ට පිටුපා සිටි කැනිජියා තම හිසෙන් පිටුපසට එල්ල කළ පහර ඉතාලි දැල්රකින්නාට සෙලවීමටවත් අවස්ථාවක් නොදීම දැල තුලට පතිතවිය. එය ඔහුට එරෙහිව ප්‍රතිවාදීන් තරගාවලියේ වාර්තා කළ එකම ගෝලයයි.

ගෝල 1-1 ලෙස සමවීම නිසා අවසානයේ දඬුවම් පහර මගින් ජයග්‍රාහකයා තීරණය විය. එහිදී 4-3ක් ලෙස ජය ගත් ආර්ජන්ටිනාව අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. විචාරකයින් බොහො දෙනෙකුගේ මතය වූයේ කැනිජියා ලබාගත් ගෝලය නිසා වෝල්ටර් සෙන්ගා අවුල් සහගත තත්ත්වයකට පත්වූ බවත් ඒ නිසාම දඬුවම් පහරවල් රැකගැනීමටද ඔහු අසමත් වූ බවත්ය.

23 හැවිරිදි කැනිජියා සමස්ත තරගාවලියේම ලබා ගත්තේ ගෝල 2කි. එම ගෝල දෙක ආර්ජන්ටිනා කණ්ඩායම කිසිවෙක් බලාපොරොත්තු නොවූ ලෙස තරගාවලියේ අවසාන තරගය දක්වාම ගෙන ඒමට සමත් විය. තරගාවලියේදී සැල්වාර්ටෝ ෂිලාෂි ගෝල 6ක්ද ලබා ගනිමින් තරගාවලියේ රන් සපත්තුව හිමිකර ගත්තද තෝමස් ෂුකුරොව් ගෝල 5ක් රැස් කළද අදත් විචාරකයින් 1990 තරගාවලියේ වටිනාම ගෝල් දෙක ලෙස හඳුන්වන්නේ කැනිජියා විසින් බ්‍රසීලයට සහ ඉතාලියට එරෙහිව ලබා ගත් ගෝල් දෙකයි.

 

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා