සිංගර් කුසලාන පාසල් ලීග් රග්බි තරගාවලිය අපරාජිත රාජකීයයෝ ලීග් කිරුළ රැක ගනී

 ඡායාරූපය:

සිංගර් කුසලාන පාසල් ලීග් රග්බි තරගාවලිය අපරාජිත රාජකීයයෝ ලීග් කිරුළ රැක ගනී

සෙනසුරාදා තම විදුහල් ක්‍රීඩාංගණයේ පැවති තරගය ලකුණු 32-13ක් ලෙස ජයගත් කොළඹ රාජකීය විද්‍යාලය සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් ශූරතාව පිට පිටම දෙවැනි වසරටත් දිනා ගැනීමට සමත් විය. බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල කණ්ඩායම සමඟ මෙම තරගය පැවැත්විණි.

පසුගිය වසරේ ඉසිපතන විද්‍යාලයට පමණක් පරාජය වෙමින් ලීග් ශූරතාව දිනූ රාජකීය විද්‍යාලය මෙවර අපරාජිතවම එය ජය ගැනීම කැපී පෙණෙන සිදුවීමකි. තරගය ආරම්භ කර මිනිත්තු හතකට පසුව සාන්ත පීතර විද්‍යාලයේ ෂෙහාන් ලියනපතිරණ මීටර් 40ක් පමණ දුර සිට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කරගත් අතර ඒ අනුව මුලින්ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන ලද්දේ සාන්ත පීතර ක්‍රීඩකයන් විසිනි.

26වැනි මිනිත්තුවේදී රාජකීයන් වාර්තා කළ උත්සාහක දිනුම ප්‍රවර්ථනය කිරීමට ඔවුන් සමත් වූ හෙයින් තරගයේ ලකුණු තත්ත්වය 07-03ක් ලෙස කියැවුණේය. 39 වැනි මිනිත්තුවේදී තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට රාජකීයන් සමත්වූ නිසා ලකුණු 12-03ක් ලෙස විවේක කාලය ආරම්භවද්දී රාජකීය කණ්ඩායම පෙරමුණේ පසුවිණි.

දෙවැනි අර්ධයේදී රාජකීයන් තවත් උත්සාහක දිනුම් තුනක් ප්‍රවර්තනයක් සහිතව වාර්තා කළ අතර දඬුවම් පහරක්ද සාර්ථක කරගැනීමට සමත් විය. සාන්ත පීතරයන් එක් උත්සාහක දිනුමක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කරගත් හෙයින් තරගය අවසානයේ ලකුණු තත්ත්වය දැක්වූණේ 32-13ක් ලෙසය.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා