ලෝක කුසලාන උණුසුම සොයා මහාද්වීපික තරණයක යෙදෙන - ඕස්ට්‍රේලියාව

 ඡායාරූපය:

ලෝක කුසලාන උණුසුම සොයා මහාද්වීපික තරණයක යෙදෙන - ඕස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාව විසි එක් වැනි පාපන්දු ලෝක ශූරතාව සඳහා රුසියාවට පැමිණෙන්නේ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 40වැනි ස්ථානය අත්පත් කරගනිමිනි.

ඒ මෙම වසරේ වැඩ බාරගත් නෙදර්ලන්ත ජාතික පුහුණුකරු 66 හැවිරිදි බර්ට් වැන් මර්වියෙක් ද පෙරටු කරගෙනය. මර්වියෙක් යනු නෙදර්ලන්ත පාපන්දු කණ්ඩායම 2010 වසරේදී අවසාන මහා තරගයට ගෙන ගිය පුහුණුකරුය.

රුසියාවට පැමිණීමට පෙර සුදුසුකම් ලැබීමේ තරගවල අවසන් තරග දෙකේදී සිරියාව ගෝල 2-1ක් සහ හොන්ඩුරාස් ගෝල 3-1ක් ලෙස පරාජය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

1974 සිට ලෝක පාපන්දු කුසලානය සඳහා සටන් වදින ඔස්ට්‍රෙලියාවේ ‍හොඳම ලෝක ශූරතා දක්ෂතාව වන්නේ 2006 තරගාවලියේදී 16 දෙනාගේ වටයට පිවිසීමයි.

එයට අමතරව ඔවුන් 2015 ආසියානු ශූරයින් වන අතරම 1980,1996, 2000 සහ 2004 වසර වලදී ඕෂනියා කලාපයේ ශූරයින් බවටද පත් වී තිබේ.

ඕස්ට්‍රේලියානුවන් මහත් බලාපොරොත්තු තබා සිටින සුපිරි තරුව 27 හැවිරිදි ආරොන් මූයි දක්ෂ මැද පෙළ ක්‍රීඩකයෙකි. මෙවර ඕස්ට්‍රේලියානු පිල දෙවැනි වටය දක්වා ගෙන යාමේ පළමු වගකීම පැවරී ඇතිතේ ඔහු හටය. විචාරකයන් එලෙස හඳුන්වන්නේ තරග 105කදී ගෝල 50ක් වාර්තා කර සිටින 38 හැවිරිදි ටිම් කහිල් තරගාවලියට ක්‍රීඩා කිරීම තවමත් අවිනිශ්චිත බැවිනි. ඕස්ට්‍රේලියානු පාපන්දු ඉතිහාසයේ වැඩිම ගෝල් ලැබූ ක්‍රීඩකයාගේ වාර්තාව හිමිකම් කියන්නේ ටිම් කහිල්ය.

මැතිව් ලෙකී සහ 26 හැවිරිදි ටොමී ජුරික් කණ්ඩායමේ ප්‍රධාන ප්‍රහාරකයින් ලෙස හැඳින්විය හැක. තවමත් එක් ජාත්‍යන්තර තරගයකට පමණක් ක්‍රීඩාකර ඇති මෙල්බර්න් සිටි කණ්ඩායමේ 19 හැවිරිදි ඩැනියෙල් ආර්සෙනි කෙරෙහි කණ්ඩායම විශාල බලාපොරොත්තු තබා ඇත්තෙකි. ජර්මනියේ බුඩිස් ලීග් අත්දැකීම් සහිත ජැමී මැක්ලරන්ස් ද මෙවර රුසියාවට පැමිණෙන ප්‍රබල ප්‍රහාරකයෙකි.

මැද පෙළ ක්‍රීඩකයින්ගෙන් ප්‍රධාන වන්නේ නායක මිල් ජෙඩිනැක්ය. තරග 75කදී ගෝල 18ක් ඔහු නමට සටහන්වී ඇත. එංගලන්ත ඇස්ටන් විලා කණ්ඩායම වෙනුවෙන්ද ඔහු ක්‍රීඩා කරයි. ජැක්සන් අර්වින් සහ තරග 70 අත්දැකීම් ඇති මාක් මිගිලන්ද ඕස්ට්‍රේලියානු ප්‍රහාරක බල ඇණිය ශක්තිමත් කිරීමට නියමිතය.

ආරක්ෂ පෙළ ප්‍රධාන වන්නේ අසීස් බෙහික්, ජෝස් රිඩ්සන් සහ ට්‍රෙන්ට් සෙන්ස්බරිගෙනි.

ප්‍රධාන දැල් රකින්නා වන්නේ මැතිව් රයන්ය. රයන් එංගලන්තයේ වෘත්තිමය පාපන්දු අත්දැකීම් ඇති දැල් රකින්නෙකි. 36 හැවිරිදි බ්‍රෙඩ් ජෝන්ස් ඕස්ට්‍රෙලියානුවන්ගේ දෙවැනි තේරීමයි.

ප්‍රතිවාදීන්ට ගෝල ලබා නොදීමටත්, ජයග්‍රාහී ගෝල ලබා ගැනීම සඳහාත් ඔවුන් 3 - 4 - 1 - 2 ලෙස පිටියේ පෙළ ගැසේ.

ජුනි 16 ප්‍රංශය සමග,

ජුනි 21 ඩෙන්මාර්කය සමග සහ

ජුනි 26 පේරු සමග තරග වදින ඕස්ට්‍රේලියාවේ ලොක කුසලාන ජයග්‍රහණ සම්භාවිතාවය 300/1ක් ලෙස සැලකේ.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා