ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් තරගය

 ඡායාරූපය:

ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් තරගය

ළහිරු කුමාරගෙන් දක්ෂ පන්දුයැවීමක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමුදිනය වන පෙරේදා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින කොදෙව් කණ්ඩායම දිනය අවසන් වනවිට කඩුලු 6ක් දැවී ලකුණු 246ක් රැස්කර සිටියේය. මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ආරම්භවන තරගයේ දෙවැනි දිනයවූ ඊයේ කොදෙව් පළමු ඉනිම අවසන් කිරීම සඳහා තවත් කඩුලු 4ක් දවාැගනිය යුතු විය.

කාසියේ වාසිය දිනා පෝර්ට් ඔෆ් ස්පේන් හි ක්වීන්ස් පාර්ක් ක්‍රීඩාංගණ තණතීරුවේ පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ කොදෙව් නායකයාගේ බලාපොරොත්තු ඉටු කිරීමට පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන ක්‍රෙයිග් බාත්වයිට් හා ඩෙවොන් ස්මිත් ට වැඩි වේලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ ඉඩක් ලබානොදුන්හ. බාත්වයිට්ගේ කඩුල්ල තෙවැනි පන්දුවාරයේදීම දවාගනිමින් තරගයේ අණසක පැතිරවීම ආරම්භ කිරීමට උපනායක සුරංග ලක්මාල් සමත්විණි. දෙවැනි කඩුල්ල වශයෙන් ස්මිත් දැවී ගියේ ටෙස්ට් තරගයක සිදුනොවිය යුතු ආකාරයට දුවද්දී දැවීයාමක් වශයෙනි. එම කඩුල්ල දොළොස් වැනි පන්දුවාරයේදී වාර්තා වුණේය.

ඉන්පසු ලකුණු 40ක් ලකුණු පුවරුවට එක්කරමින් කොදෙව් ඉනිම පිළිසකර කිරීමට කිරන් පවෙල් හා ෂායි හෝප් උත්සහ ගනිමින් සිටියදී ඊට හරස්වන්නට ළහිරු කුමාර සමත්වුණේ පවෙල්ගේ කඩුල්ල දවාගනිමිනි. ඒ වන විට ලකුණු 38ක් රැස්කර සිටි ඔහු දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමට උත්සහ ගනිමින් සිටියේය. යළි 39 වැනි පන්දුවාරයේදී ක්‍රියාත්මක වූ ළහිරු ඒ වනවිට හොඳින් පන්දුවට පහරදෙමින් සිටි ෂායි හෝප්ගේ අපේක්ෂා උදුරා ගන්නා විට ඔහු ලකුණු 44ක් රැස්කර සිටියේය.

44 වැනි පන්දුවාරය යවමින් සිටි සුපිරි පා දඟ පන්දුයවන්නා වන රංගන හේරත් එහිදී රොස්ටන් චේස්ගෙ ඉනිම සීමා කරනු ලැබුණේ චේස් ලකුණු 38ක් රැස්කර සිටියදීය. ඉන් අනතුරුව ජේසන් හෝල්ඩර් කඩුල්ලට පැමිණ ෂේන් ඩොව්රිච් සමඟ එක්වුණේ දිගු ඉනිමක් ගොඩනගමි යන තිර අදිටනින් යුතුවය. ලකුණු පුවරුවේ ලකුණු 237 කියැවෙද්දී නායක ජේස්න් හෝල්ඩර්ගේ කඩුල්ල යළි දවාගැනීමට ළහිරු කුමාර සමත්විණි. ශ්‍රී ලංකා නායකයාගේ අපේක්ෂා එලෙසින් ඉටුකළද පළමු දිනයේ දිනය නතර කරන විට ශ්‍රී ලංකා පිල යවා තිබුණේ පන්දුවාර 84 ක් පමණි. මේ හේතුවෙන් තවත් පන්දුවාර 6ක් පන්දුයැවීම සඳහා ශ්‍රී ලංකා නායකයාට මගහැරී තිබුණේය. එය ඔහු සම්බන්ධයෙන් තරග තීරකවරයාගේ තීන්දුවට බලපෑම් එල්ල කිරීමේ අවදානමකටද පත්ව තිබිණි. මේ අතර කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතින් දවාගැනීමේ අවස්ථා ද්විත්වයක් ගිලිහී ගොස් තිබුණු අතර එසේ නොවුණේ නම් කොදෙව් ලකුණු පුවරුව මීට වඩා වෙනස් මුහුණුවරක් ගැනීමට නියමිතව තිබුණු බව විචාරක මතයවී තිබිණි.

ලකුණු පුවරුව

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම

ක්‍රෙයිග් බාත්වයිට් ඇ. දික්වැල්ල ප. ලක්මාල් 03

ඩෙවොන් ස්මිත් දුවද්දී දැවී ගියා 07

කිරන් පවෙල් ප. ළහිරු කුමාර 38

ෂායි හෝප් ඇ. දික්වැල්ල ප. ළහිරු කුමාර 44

රොස්ටන් චේස් ඇ.මැතිව්ස් ප. හේරත් 38

ෂේන් ඩොව්රිච් නොදැවී 46

ජේසන් හෝල්ඩර් ඇ.දික්වැල්ල ප. ළහිරු කුමාර 40

දේවින්ද්‍ර බිෂූ නොදැවී 00

අතිරේක 30

මුළු ලකුණු (පන්දුවාර 84ක් අවසානයේ කඩුලු 6ක් දැවී) 246

පන්දුයැවීම

ළහිරු කුමාර 18-1-57-3, සුරංග ලක්මාල් 16-4-38-1, රංගන හේරත් 16-4-41-1, ළහිරු ගමගේ 18-5-44-0, දිල්රුවන් පෙරේරා 16-1-42-0

මාතෘකා