ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල අද ඇරඹෙයි

 ඡායාරූපය:

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල අද ඇරඹෙයි

ආසියාව ජය ගැනීමේ පළමු කඩඉම් තරගාවලිය ලෙස සැලකෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය අද (07) ජපානයේ ජිෆුහිදී ආරම්භවෙයි. දින හතරක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13න් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි කරවීමට මලල ක්‍රීඩා සංගමය කටයුතු කර තිබේ. කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා වයස අවුරුදු 20ට අඩු ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සහභාගි කරවීම විශේෂත්වයකි.

1986 වසරේදී ඉන්දුනීසියාවේදී ආරම්භවූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ හමුව මෙවර පැවැත්වෙන්නේ 18 වැනි වතාවටය. එතෙක් පැවැති තරග ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව රන් පදක්කම් 4ක් රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් හයක් සහිතව සමස්ත පදක්කම් විස්සක් හිමිකරගෙන තිබේ.

ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනූ පළමු පදක්කම හිමිකරගත්තේ 1986 වසරේදී වන අතර එය පිටියේ ඉසව්වක් වන දුර පැනීමේ ඉසව්වෙන් බෙනී ප්‍රනාන්දු විසින් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් හිමිකරගෙන ඇත. ඉන් අනතුරුව යළි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව සාර්ථකවූයේ 1994 වසරේදීය. එහිදී දමයන්ති දර්ශා මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව තවමත් නොබිඳුනු කනිෂ්ඨ වාර්තාවක් සමඟින් ජයගත්තාය. මීටර් 200 කාන්තා රන් පදක්කම සුසන්තිකා ජයසිංහ විසින් දිනාගනු ලැබුණේද එලෙසින්මය. එම ඉසව් දෙකේ රිදී පදක්කම්ද පිළිවෙලින් සුසන්තිකා ජයසිංහ හා දමයින්ති දර්ශා විසින් හිමිකම් කියනු ලැබිණි. යළි ආසියානු කනිෂ්ඨ පදක්කමක් ශ්‍රී ලංකාවට හිමිවන්නේ 2001 වසරේදීය. එහිදී පිරිමි මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම විසින් ලෝකඩ පදක්කමක් හිමිකරගනු ලැබීය. ඉන් අනතුරුව මනෝජ් පුෂ්පකුමාර විසින් මීටර් 400 ධාවන තරගයකදී 2004 වසරේදී රිදී පදක්කමක් හිමිකරගත් අතර යළි පදක්කමක් ශ්‍රී ලංකාව දිනාගන්නේ 2008 වසරේදීය.

එහිදී එක් රිදී පදක්කමක් මීටර් 100 පිරිමි ධාවන ඉසව්වෙන් ෂෙහාන් අඹේපිටිය හිමිකරගන්නා අතර ලෝකඩ පදක්කමක් හිමිකරගන්නේ මීටර් 800 ඉසව්වෙන් ජනක වීරසිංහය. අරංගා වීරසිංග් පතිංරගේ විසින් මීටර් 3000 බාධක දිවීමෙන් 2010 වසරේ රිදී පදක්කමක් දිනාගත් අතර දුලාජ් මධුසංඛ හා ශිවන්ති කුමාරි රත්නායක මීටර් 400 ඉසව් වෙනුවෙන් රන්පදක්කම් දෙකකට හිමිකම් කියූවේ 2012 වසරේදීය. මීටර් 100 සහය දිවීම කාන්තා හා නිමේෂා සිරිවර්ධන උසපැනීමෙන් රිදී පදක්කම් දිනාගනිද්දී එම වසරේදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් සුපුන් විරාජ් රන්දෙනිය මීටර් 110 කඩුලු පැනීම හා මීටර් 3000 බාධක දිවීම තරග වලින් ලෝකඩ පදක්කම් හිමිකරගැනීමට සමත්විණි. ඉන් අනතුරුව පැවැති තරගාවලිය 2014 වසරේදී හිමාෂ ඒෂාන් මීටර් 100 ඉසව්වෙන් හා මීටර් 400 කඩුලු මතින් පැනීමේ ඉසව්වෙන් කෞවශල්‍යා මධුශානි එදිරිප්පුලිගේ රිදී පදක්කම් දිනාගත්හ. විදූෂ ලක්ෂානි හීනටිමුල්ලගේ තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත්තාය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි