සය වැනි වතාවටත් ලෝක පාපන්දු සැරියට සුදුසුකම් ලද- නයිජීරියාව

 ඡායාරූපය:

සය වැනි වතාවටත් ලෝක පාපන්දු සැරියට සුදුසුකම් ලද- නයිජීරියාව

ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරිම් අනුව 47 වැනි ස්ථානයේ සිටින නයිජීරියානුවන් හයවැනි වරට ලෝක පාපන්දු ශූරතාව සඳහා මෙවර තරග වැදීමට සූදානම්ය. ඔවුන්ගේ පළමුවැනි තරගාවලිය වූයේ 1994 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ පැවති තරගාවලියයි.

රුසියාවේ තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ අවසන් තරගයේදී ඇල්ජීරියාව හමුවේ ගෝල 3-0ක් ලෙස පරාජය වුවද ඊට පෙර තරගයේදී සැම්බියාව ගෝල 1-0ක් ලෙස පරාජය කළ බැවින් සුදුසුකම් ලැබූ අප්‍රිකානු රාජ්‍ය පහ අතරට එක්වීමට සුපර් ඊගල්ස් ලෙසද හඳුන්වන නයිජීරියා කණ්ඩායමට හැකිවිය.

ජර්මන් ජාතික පුහුණුකරු ගර්නට් රෝ යටතේ තරගයට පැමිණෙන නයිජීරියානුවන්ගේ ප්‍රධාන ක්‍රීඩකයා වන්නේ නායක ජෝන් ඔබී මිකෙල්ය. තරග 84කි වෙනුවෙන් සුපර් ඊගල් කණ්ඩායම නියෝජනය කර ඇති මිකෙල් සමග මැද පෙළ ශක්තිමත් කරන අනෙක් ප්‍රධාන ක්‍රීඩකයා වන්නේ 25 හැවිරිදි වුවත් තරග 52ක් ක්‍රීඩාකර ඇති ඔජෙන්යි ඔනෙසි ය. එංගලන්තයේ ලීස්ටර් සිටි කණ්ඩායම නියෝජනය කරන 21 හැවිරිදි විල්ෆ්‍රඩ් න්ඩිඩි සහ ජෝන් ඔගු ද ඔවුන්ගේ සහයකයින්ය.

ප්‍රහාරකයින් අතරින් වැඩිම තරග අත්දැකීම් ඇති අහ්මඩ් මූසා සහ චෙල්සි කණ්ඩායමේ වික්ටර් මෝසෙස් ප්‍රතිවාදීන්ගෙන් ගෝල ඩැහැගැනීමට සිටින ප්‍රධාන දෙපලයි. තරග 17ක් තම ජාතික පිල නියෝජනය කර ගෝල් 8ක් ලබා ඇති 21 වියැති කෙලචි ඉහනෙචෝ ද ලීසෙස්ටර් සිටි ක්ඩායම නියෝජනය කරයි. 22 හැවිරිදි ප්‍රහාරක ඇලෙක්ස් ඉවෝබි ආර්සෙනල් කණ්ඩායමට නයිජීරියාව ලබා දුන් ප්‍රබල ක්‍රීඩකයෙකි.

තරග 39 ක්‍රීඩාකර ඇති 25වියැති කෙනත් ඔමේරු නයිජීරියානු ආරක්ෂක පෙළෙ ප්‍රධානියා ලෙස සැලකේ. ඔහු ක්‍රීඩා සමාජ තරගාවලියන්හිදී චෙල්සි කණ්ඩායම නියෝජනය කරන අතර එම කණ්ඩායමේද ප්‍රබලයෙකි. තරග 61ක් වෙනුවෙන් පිටියට බැස ඇති එඩර්සන් ඉචියේජිලෙ මෙන්ම ලියොන් බැලේගුන් සහ විලියම් ට්රූස් නයිජීරියානු දැල් සිමාව ආරක්ෂා කිරීමට මෙවර රුසියාව බලා යති.

දැල් රකින්නන් අතර අත්දැකීම් අතින් ඉදිරියෙන් සිටින 29 වැවිරිදි ඉකෙචුක්වු එසෙන්වා තරග 24 ක්‍රීඩාකර ඇතත් 19 හැවිරිදි නව යොවුන් ක්‍රීඩක ෆ්‍රැන්සිස් උසෝ කෙරෙහි නයිජීරියානුවන් ඉතා ඉහළ බලාපොරොත්තු තබා ගෙන සිටී. උසෝ ස්පාඤ්ඤයේ ලා කොරුනා පාපන්දු සමාජයේ උද්යෝගිමත් සාමාජිකයෙකි.

ප්‍රතිවාදීන් සමග පසුපෙළ -4, මැදපෙළ -3 සහ ඉදිරිපෙළ -3 යි ලෙස ක්‍රීඩා කිරීම නයිජීරියානු බලාපොරොත්තුවයි.

තරගාවලියේදී ඩී කොටසින් නයිජීරියාවට මුහුණ දීමට වන කණ්ඩායම් අතරින් ආර්ජන්ටිනාව සහ ක්‍රොඑෂියාව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම්ය. නවකයින් වන අයිස්ලන්තයද ශ්‍රේණිගත කිරීම් හි 21වැනි ස්ථානය ලබමින් නයිජීරියාවට වඩා බොහෝ ඉදිරියෙන් පසුවීම ඔවුන්ට ඇති අවාසියයි. ඒ කෙසේ නමුත් නයිජීරියානු සුපර් ඊගල් කණ්ඩායම තරගාවලියේ සටන්කාමී කණ්ඩායමක් බව විචාරකයින් ගේ අදහසයි.

නයිජීරියානුවන්ගේ ලෝක කුසලාන ජයග්‍රාහී හැකියාව 150/1 කි.

ඔවුන්ගේ පළමු වටයේ තරග සටහන

ජුනි 16 ක්‍රොඑෂියාව සමග

ජුනි 22 අයිස්ලන්තය සමග

ජුනි 26 ආර්ජන්ටිනාව සමග

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා