වැස්ස නිසා සාෆ් රන් කුසලාන අවසන් තරගය ජය පැරදුමෙන් තොර වෙන්න තිබුණා

 ඡායාරූපය:

වැස්ස නිසා සාෆ් රන් කුසලාන අවසන් තරගය ජය පැරදුමෙන් තොර වෙන්න තිබුණා

සම්පත් පෙරේරා

සම්පත් පෙරේරා යනු 1995 වසරේ ශ්‍රී ලංකාවේ පැවති සාෆ් රන් කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ නායකයාය. 1978 වසරේ දී වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමේ සිට 1998 දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් විශ්‍රාම ගන්නා තුරුම වසර 20ක් අඛණ්ඩවම ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කර ඇත්තෙකි. 2000 වසරේදී සියලුම සාක් රටවල සහභාගිත්වයෙන් මාලදිවයිනේ පැවති නිදහස් කුසලානය මෙරටට ගෙනා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසද සම්පත් පෙරේරා කටයුතු කළේය. ශ්‍රී ලංකා ජාතික යොවුන් පාපන්දු කණ්ඩායමේ මෙන්ම ජාතික කණ්ඩායමේද පුහුණුකාර ධුරය දැරූ ඔහු ක්‍රීඩා සමාජ කිහිපයකම පුහුණුකාර ධුරය හොබවා ඇත. වර්තමානයේ ගුවන් හමුදා කණ්ඩායමේ ප්‍රධන පාපන්දු පුහුණුකරු ලෙස ඔහු කටයුතු කරයි. මේ මෙරට පාපන්දු ක්‍රීඩාවේ අමරණීය චරිතයක් ලෙස සැලකිය හැකි සම්පත් පෙරේරා සමග රැස පැවැත්වූ සංවාදයකි.

දැන් වයස කීයද?

අවුරුදු 53ක් වෙනවා.

පාපන්දු ක්‍රීඩාව ආරම්භ කළේ?

වයස අවුරුදු 10 ක් 11ක් වෙනකොට.

කොහෙන්ද පටන් ගත්තේ?

කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් ආරම්භ කළේ. මම අධ්‍යාපනය ලැබුවේ තර්ස්ටන් විද්‍යාලයේ. ඒ එක්කම මගේ ගම කොටහේන. එහේ රත්නම් පාක් එකේ මම මට වඩා වැඩිමල් අය එක්ක සෙල්ලම් කළා. අපේ පාසලේ ලොකුවට පාපන්දු තිබුණේ නැහැ. ක්‍රිකට් සහ රගර් තමයි තිබුණේ. ඒ වුණාට 15න් පහළ ජාතික පාසල් කණ්ඩායම මම නියෝජනය කළා. එතකොට 1978 වගේ මට මතක.

පවුල් පසුබිම පාපන්දු වලට සම්බන්ධද?

ඔව්. මගේ වැඩිමල් සහෝදරයා උපාලි පෙරේරා සෝන්ඩර්ස් කණ්ඩායම නියෝජනය කරල තියෙනවා.

ක්‍රීඩා සමාජ ජීවිතය පටන් ගත්තේ?

මම මුලින්ම ඕල්ඩ් බෙන්ස් කණ්ඩායම නියෝජනය කළා. ඒ පාසල් කාලයේදීමයි. දෙවැනියට රත්නම් කණ්ඩායම. ඊට පස්සේ යෝක් කණ්ඩායම. යෝක් එකේ තමයි මම වැඩි කාලයක් ක්‍රීඩා කළේ. 1980 ඉඳල 1996 වෙනකම් එතැන හිටියා. ටික කාලයක් සෝන්ඩර්ස් එකටත් සෙල්ලම් කළා.

රැකියාව?

මට වයස අවුරුදු 18 වද්දී ගුවන් හමුදාවට බැඳුණා. ඒ කාලේ පාපන්දුව ක්‍රීඩාවෙන් ත්‍රිවිධ හමුදා කණ්ඩායම් හොඳ තැනක හිටියා.

ගුවන් හමුදාවටත් ක්‍රීඩා කළා?

එෆ්. ඒ. කප් එකයි, ප්‍රිමියර් ලීග් එකටයි විතරයි. අනිත් තරගාවලි අපිට කැමති ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන්න පුලුවන්. ඒ නිසා මම යෝක් එකට සම්බන්ධ වුණා.

පළමු විදෙස් සංචාරය?

පාසල් අවුරුදු 19න් පහළ කණ්ඩායම් නියෝජනය කරමින් මාලදිවයින් ගියා. ඊට පස්සේ ඕමාන් ගියා.

 

ක්‍රීඩා කරන ස්ථානය?

සෙන්ටර් ඩිෆෙන්ස්

ශ්‍රී ලංකා තරුණ කණ්ඩායමේ අත්දැකීම් මොනවාද?

23න් පහළ ජාතික කණ්ඩායමේ නායකත්වය දැරුවා. ඕමාන්, ඉරාන්, මාලදිවයින් වගේ රටවල සංචාරය කරල තරග වැදුණා. ඒ කාලේ අපිට තරගාවලි වලදි හමුවුණේ ශ්‍රේණිගත කිරීම් වලින් හුඟක් ඉදිරියෙන් හිටිය කණ්ඩායම්. අපෙත් හොඳ කණ්ඩායමක් හිටියා. ඒ තරග වලදි අපිත් හොඳින් ක්‍රීඩා කළා. රියන්සි වොලස්, කල්දේරා, රාමා, දේවෙන්ද්‍රන්, ඇන්ටන් සිල්වා වගේ පස්සේ ජේෂ්ඨ ජාතික කණ්ඩායම නියෝජනය කළ අයත් මා එක්ක අවුරුදු 23න් පහළ කණ්ඩායමේ හිටියා.

ජාතික කණ්ඩායම නියෝජනය කරන්නේ?

1987 ජාතික කණ්ඩායමට එනවා. 1998 වන තුරු ක්‍රීඩා කරනවා. 1993 සිට 1998 දක්වා එම කණ්ඩායමේ නායකයා මමයි.

පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස ලැබූ සාර්ථකත්වය?

1995 රන් කුසලානය දිනනවා. සාෆ් තරගාවලි වලින් රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් ගන්නවා. ලංකාව තුළ ක්‍රීඩාකරල අපි ජයග්‍රහණය කළ ලොකුම කුසලානය තමයි 1995 සාෆ් රන් කුසලානය. පළවෙනි සාෆ් රන් කුසලානය.

මගේ නායකත්වයෙන් යෝක් එක ඉන්ටර්ලීග් තරගාවලිය ජයගත්තා. මම ක්‍රීඩකයෙක් විදියට ඉන්න කාලේ එෆ්. ඒ. කප් එක දිනලා තියෙනවා. යෝක් කණ්ඩායම මාලදිවයින් ජනාධිපති රන් කුසලානය දිනා ගත්තා. ඊට පස්සේත් තුන් පාරක් මම යෝක් ක්‍රීඩා සමාජයත් සමග මාලදිවයිනේ සංචාරය කළා. සෝන්ඩර්ස් කණ්ඩායම සමගත් එක් වතාවක් මාලදිවයින් ගියා.

2000දි අපි මාල දිවයිනට ගිහිල්ලා එහෙ තිබුණු නිදහස් කුසලානයේ ශූරතාව දිනුවා. එදා පුහුණුකරුවෙක් විදිහට මම කණ්ඩායමට එක්ව සිටියා. ඔක්කොම සාෆ් රටවල් ක්‍රීඩා කළා.

විදෙස් අත්දැකීම්?

රටවල් තිස් ගණනක සංචාරය කරල තියෙනවා. විදෙස් සංචාර 116ක් කරලා තියෙනවා.සියලුම මැද පෙරදිග රටවල්, තුර්ක්මෙනිස්ථාන් වගේ රටවල්, දකුණු ආසියානු රටවල් වල සංචාරය කරල තරග වැදිල තියෙනවා.

අමතක නොවන සංචාරය?

ඉන්දියාවේ තිබුණා තරගයක් තමයි. ඒක තිබුණේ ඉන්දියාව එක්කමයි. ඒ තරගය අපි හොඳට ක්‍රීඩා කළා. තරගය තිබුණේ දවල්. ඉන්දියාවෙදි ඉන්දියාව එක්ක තරග කරන එක ලේසි නැහැ. අපි ඒ තරගය ගෝල් 1-0 ට පැරදුණා. නමුත් එදා තිබුණු වතාවරණයත් එක්ක අපි ක්‍රීඩා කරපු ආකාරය කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපි හොඳ සටනක් දුන්නා. මම දේශනවලදි පවා උදාහරණයකට ගන්නේ ඒ තරගයයි.

කවුද එදා ඔබ එක්ක ක්‍රීඩා කළ අනිත් ක්‍රීඩකයින්?

රොෂාන් පෙරේරා, මොහොමඩ් අමනුල්ලා, චමින්ද ස්ටෙන්වෝල්, ලලිත් වීරසිංහ වගේ අය මා එක්ක එදා ක්‍රීඩා කළා.

සාෆ් රන් කුසලානයේදී දිනයි කියල හිතුවද?

ඔව්. අප තුළ දැඩි විශ්වාසයක් තිබුණා. අපි තුළ ඒ විශ්වාසය ඇතිවුණේ පළමුවෙනි වටයේ ඉන්දියාව එක්ක තිබ්බ තරගය ගෝල් 2-2ක් විධියට සම වුණු නිසයි. එතැනදි ඉන්දියාව ගෝල් 2ක් ගහල තියෙන අවස්ථාවෙ තමයි අපි ගෝල් දෙක ගහන්නේ. ඒ නිසා අවසාන මහා තරගය ආරම්භ කරන්න කලින් අපි හිටියේ තරගය දිනන්න පුලුවන් කියන උපරිම මානසික මට්ටමේ. තරගය ආරම්භ කරන්න ක්‍රීඩාංගණයට එනකොට ප්‍රේක්ෂක ප්‍රතිචාරය නිසා ඒක තවත් වැඩි වුණා.

තරගය ආරම්භ කෙරුවෙ රාත්‍රී හතට. වැස්ස නිසා තරගය දෙපාරක් විතර නැවැත්තුවා. ජෝඩ් ජෝසප් තමයි තරග කොමසාරිස්. එයා තරග තීරක ලෙස, මනිලාල් ප්‍රනාන්දු මහතා සමග කථා කරලා වැස්ස නිසා තරගය නතර කරලා තියෙන නිසා අපිටයි ඉන්දියාවටයි සම ශූරතාවය දෙන්න කතාකරලා තිබුණා. නමුත් අපිට තරගය දිනන්න පුළුවන් කියලා මට දැඩි විශ්වාසයක් තිබුණ. ඒ නිසා තව ටිකක් බලමු, තව ටිකක් බලමු කිය කියා මම හිටියා. වැස්ස නතර වුණාට පස්සේ නැවත තරගය පටන් ගත්තා. ඒ කාලෙම තමයි ගොල්ඩන් ගොල් නීතිය ආවෙ.

නැවත තරගය පටන් ගත්තට පස්සේ වැස්ස නිසා ක්‍රීඩකයො සෙල්ලම් කළෙත් පරිස්සමින්. ඇත්තටම පිිටියේ ළිස්සන්න පුලුවන් නිසා. ඒ එක්කම යුද හමුදාවේ සරත්ව ක්‍රීඩක මාරුවක් කරලා පිටියට එව්වා. තරගාවලියෙම සරත් පිටියට ආව පළවෙනි වතාව තමයි ඒක. අනෙත් කාරණය තරගාවලියෙ එයා ක්‍රීඩා කරන මුල්ම තරගය.

රොෂාන් පෙරේරා හොඳම පන්දුවක් යොමු කරනව ගෝල් එකට. එතන හරියටම සරත් හිටියා. එයා ඔලුවෙන් පන්දුව ගොල් එකට දැම්මා. මට මතක විධියට සරත් එයා පිටියෙ හිටපු සුළු කාලයෙදි පන්දුව ස්පර්ශ කරපු පළවෙනි වතාවත් ඒකයි. මට හොඳට මතකයි එතකොට වෙලාව. හරියටම රාත්‍රී 10.58යි. වැස්ස නිසා තරගය ඒ තරම් වෙලාවක් ඇදිල ගියේ.

ඒ ජයග්‍රහණයෙන් පස්සෙ මොකද හිතුණේ?

එදා කණ්ඩායමේ තිබුණ එකමුතුව, ප්‍රේක්ෂකයින්ගේ සංඛ්‍යාව සහ ප්‍රේක්ෂකයින්ගේ උනන්දුව. එතකොට මාධ්‍ය වලින් විශේෂයෙන්ම පත්තර වලින් දුන්න පුසිද්ධිය නිසා පාපන්දු ක්‍රීඩාවට සහ පාපන්දු ක්‍රීඩකයින්ට තිබුණ ජනප්‍රියතාවය තවත් වැඩිවෙයි කියලා හිතුණා. නමුත් එහෙම වුණේ නැහැ.

ඇයි එහෙම නොවුණෙ?

අනෙක් ක්‍රීඩා එක්ක බලද්දි අපිට ඒ කාලේ ලැබිය යුතුතැන ලැබුණා නමුත් ඒක ආරක්ෂා කර ගන්න බැරිව ගියා. මම හිතන්නේ අපේ දුර්වලතාවයක් නිසයි ඒක ආරක්ෂා කරගන්න බැරි වුණේ කියලා. එතැනින් එහාට අපේ තිබුණු සැලසුම් හරියට ක්‍රියාත්මක නොවුණ නිසා තමයි එහෙම වුණේ කියල මම හිතන්නේ.

සමකාලීනයින් අතර ඔබ දැක්ක දක්ෂතම ක්‍රීඩකයා?

දැල් රකින්නෙක් ලෙස ලලිත් වීරසිංහ. ඇතැම් තරග තිබුණේ ප්‍රතිවාදි කණ්ඩායමයි ලලිත් වීරසිංහයි අතරෙයි. උදාහරණයකට ඉන්දියාවයි-ලලිත් වීරසිංහයි වගේ. රොෂාන් පෙරේරා, අමනුල්ලා, චමින්ද ස්ටෙන්වොල් හොඳ ප්‍රහාරකයෝ, දේවේන්ද්‍ර, ඇන්තනි වොම්බෙක් වගේ ක්‍රීඩකයෝ ඒ අතර ඉන්නවා.

ඔබගේ පුහුණුකරුවන්

සබූර් මොහිදීන්, එඩ්වඩ් වික්‍රමසූරිය සහ පී. ඩී. සිරිසේන

පුහුණුකරුවෙක් ලෙස කටයුත් කළේ කොහොමද?

ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වෙලා හිටියා, රත්නම් දොන් බොස්කෝ පාපන්දු සමාජවල පුහුණු කාර ධූරය දැරුවා. 2014 ඉදලා ගුවන් හමුදා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස තවමත් කටයුතු කරනවා.

[ඩබ්ලිව්.අාර්. කුමාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි