ආසියාවේ හොඳම ප්‍රහාරකයා සමඟ රුසියාවට එන - ඉරානය

 ඡායාරූපය:

ආසියාවේ හොඳම ප්‍රහාරකයා සමඟ රුසියාවට එන - ඉරානය

ඉරානයේ පළමු ලෝක පාපන්දු ශූරතා තරගාවලිය වූයේ 1978 ආර්ජන්ටිනාවේ පැවති එකොළොස්වැනි තරගාවලියයි. එම තරගාවලියේදී ඔවුහු 14වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූහ. එය ඔවුන් ලෝක කුසලා ඉතිහාසයේ ලබා ගත් හොඳම ස්ථානය විය. තරගාවලි ඉතිහාසයේ ඉරානය ලබා ගත් එකම ජයග්‍රහණය වන්නේ 1998 ප්‍රංශයේදී ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායම පරාජය කරමින් ගෝල් 2-1ක් ලෙස ලබා ගත් ජයග්‍රහණයයි.

ආසියාවේ පාපන්දු ප්‍රබලයෙකු වන ඉරානය 1968,1972 සහ 1976 වසර වලදී ආසියානු පාපන්දු කුසලාන අත්පත් කර ගැනීමටද සමත්ව ඇත. මෙවර රුසියාවට යෑම සඳහා පැවති තේරීම් තරගවල අවසන් තරග 3දී උස්බෙකිස්ථානය ගෝල් 2-0 ලෙස පරාජය කිරීමටද ඔවුහු සමත් වූහ. දකුණු කොරියාව සහ සිරියාව සමග තරග ජය පරාජයක් නොමැතිව අවසන් විණි.

පුහුණුකරු වශයෙන් කටයුතු කරන 65 හැවිරිදි පෘතුගීසි ජාතික පුහුණුකරු කාලෝස් ක්වෙරොස්ට රියල් මැඩ්‍රිඩ් මැන්චෙස්ටර් යුනයිටඩ් සහ පෘතුගාල කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතුකර අත්දැකීම් ඇත. මෙවර ඔහු තම පුහුණුව යටතේ ක්‍රීඩාකරන ඉරාන ජාතිකයන් එසේත් නැතහොත් අතීත පර්සියන්වරුන්ගෙන් විශාල පෙරළියක් බලාපොරොත්තු වන බව පවසා තිබේ.

ඉරාන පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටයකු වන තරග 150 කට ක්‍රීඩා කර ඇති හිටපු නායක ජාවෙඩ් නෙකූනාම් තරගාවලියට පෙරම කණ්ඩායමෙන් ඉවත් වීම ඉරානයට මෙවර තරගාවලියේ දැනෙන ලොකුම අඩුව ලෙස සැලකිය හැකිය.

ප්‍රහාරක ක්‍රීඩකයන් අතර 23 හැවිරිදි සර්දාර් අස්මූන් ප්‍රධානම ක්‍රීඩකයා ලෙස සැලකෙයි. වර්තමානයේ ආසියාවේ සිටින හොඳම ප්‍රහාරකයා ලෙස සැලකන්නේ ද සර්දාර්ය. ඔහු තරග 32කදී ගෝල 23ක් රැස්කරගෙන ඇති අතර ක්‍රීඩා සමාජ තරගවලදී රුසියාවේ රුබින් කසාන් කණ්ඩායම නියෝජනය කරයි. දෙපයින්ම එක ලෙස ප්‍රහාර එල්ල කළ හැකි විශිෂ්ට ප්‍රහාරකයෙකු ලෙසද ඔහු සැලකේ. අලිරිසා ජහන්බක්ෂ් ද ඉරාන කණ්ඩායමට එක් වන්නේ ක්‍රීඩා සමාජාන්තර තරගවලදී රුසියාවේ රුබින් කසාන් කණ්ඩායම නියෝජනය කරමින්මය. කරීම් අන්සරෆාඩ් ග්‍රීසියේ ඔලිම්පිකෝ කණ්ඩායම නියෝජනය කර යුරෝපා පාපන්දු අත්දැකීම් ලබා ඇත.

කණ්ඩායම මෙහෙයවන 33 හැවිරිද් මසූඩ් සෝජායි තරග 73ක් ජාතික පිල වෙනුවෙන් නියෝජනයකර තිබේ. ඔහු ග්‍රීසියේ ඇතන්ස් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකි. අහ්මඩ් අබ්දුල්ලාසාදි සහ ‘පර්සියන් පොග්බා‘ ලෙස හඳන්වන 21 හැවිරිදි සෙයිඩ් ඉසෙටොලහි පර්සියානුවන්ගේ විශාල බලාපොරොත්තුවකි. 28 වියැති එහ්සාන් හජාස්ෆි තරග 90කට වඩා ක්‍රීඩා කර මින් ලබා ඇති අත්දැකිම් මෙවර තරගාවලියේදී ඉරානයට සම්පතකි. ඉරන ආරක්ෂක පෙළ නියෝජනය කරන්නේ 21 හැවිරිදි සෙයිඩ් මජීඩ් හුසේනි සහ අත්දැකීම් බහුල පෙජ්මාන් මොන්ටෙසේරී සමග රමීන් රිසියේන් හා වුරියා ගෆූරිය.

පර්සියානු ප්‍රධාන දැල් රකින්නා වන්නේ 25 හැවිරිදි අලිරිසා බිරන්වාඩ් ය. ඊට අමතරව රෂීඩ් මසාහෙරී සහ සෙයිඩ් හුසේනි ද අවශ්‍ය විට දැල් රකින්නාගේ අත් ආවරණ පැළඳීමට සූදානමින් සිටී.

සුපුරුදු පරිදි ඉරාන කණ්ඩායම 4-2-3-1 ලෙස රුසියානු පාපාන්දු පිටිවලදී ද විසීරී ක්‍රීඩා කිරීමට සූදානම්න් සිටී.

ඉරාන පිල ලෝක පාපන්දු ශූරතාවය ජය ගැනීමේ සම්භාවිතාවය 300/1 කි.

බී කොටසින් තරග වදින ශ්‍රේණිගත කිරීම්වල 36වැනි ස්ථානය දරන ඉරානයට පහළින් සිටින එකම කණ්ඩායම මොරොක්කෝවයි.

 

ඔවුන්ගේ මූලික වටයේ තරග සටහන

ජුනි 15 මොරොක්කෝව (42) සමඟ

ජුනි 20 ස්පාඤ්ඤය සමඟ

ජුනි 25 පෘතුගාලය සමඟ

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා