රග්බි නිලවරණය හෙටයි

 ඡායාරූපය:

රග්බි නිලවරණය හෙටයි

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නිලවරණය හෙට (ජුලි 21 වැනි සෙනසුරාදා) සවස 6.30ට කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බව ශ්‍රී ලංකා රග්බි සංගමය ප්‍රකාශ කරයි.

මුලින්ම රංග්බි සංගමයේ නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ පසුගිය මැයි මස 30 වැනිදාය. මැයි 08 වැනිදා රග්බි සංගමයේ නිලවරණය සඳහා නාමයෝජනා බාරගැනීම සිදු විය. එම අවස්ථාවේදී හිටපු උපසභාපතිවරයෙකු වන ලසිත ගුණරත්න ඇතුළු පිරිසක් නාම යෝජනා බාරදුන් අතර වෙනත් කිසිදු පාර්වයක් නාම යෝජනා බාර නොදුන් බැවින් ලසිත ගුණරත්න පාර්ශ්වයට නිතරඟ ජයක් හිමි වීමට නියමිතව තිබුණි.

‘‘මම හෙට නිලවරණයෙන් පස්සේ සියලුම දෙනා සමග සාකච්ඡා කරලා අපේ ඉදිරි වැඩපිළිවෙල නිවැරදිව සකස් කරනවා. ඊට පස්සේ පියවරින් පියවර එය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ රග්බි පැමිණි ගමන හොඳින් ඉදිරියටම ගෙනයන්න හැකි සෑම දෙයක්ම කරනවා. ඒ වගේම තියෙන අඩු පාඩුත් නිවැරදි කරගන්න බලාපොරොත්තු වෙනවා.

‘‘මට හොඳ කණ්ඩායමක් ඉන්නවා. මේ වගකීම හොඳින් ඉටුකරන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා.”

හෙට නිලවරණයේදී සභාපති ධුරයට පත් වීමට නියමිත ලසිත ගුණරත්න අප කළ විමසීමකදී රැසට එසේ පැවසීය. හෙට පැවැත්වෙන නිලවරණයේදී නිතරගයෙන් පත් වීමට නියමිත නිලධාරී මණ්ඩලය.

සභාපති - ලසිත ගුණරත්න

ලේකම් - තුසිත පීරිස්

භාණ්ඩාගාරික - රොහාන් ඇන්තනි

උපසභාපතිවරුන් - රිස්වි ඉල්ලියාස් සහ නිස්මි මොහොමඩ්

[ඩබ්ලිව්. ආර්. කුමාර]


දකුණු පළාත් රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලිය

දකුණු පළාත් රාජ්‍ය සේවා තරඟාවලිය නිලවශයෙන් ආරම්භ කරමින් පළමුවර කාන්තා වොලිබෝල් තරඟාවලිය ගාල්ල කොටුව වොලිබෝල් ක්‍රීඩාංගණයේදි ඊයේ දින(19) ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

අවසන් තරඟාවලිය සඳහා කණ්ඩායම් 11ක් එක්ව සිටි අතර, දකුණු පලාතේ සියළුම දිස්ත්‍රිකයන් නියෝජනය වන පරිදි රාජ්‍ය සේවා කන්ඩායම් රැසක් තරගාවලියට එක්ව සිටියහ. සමාරම්භක උළෙල සඳහා ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම්, පලාත් ක්‍රීඩා සහකාර අධ්‍යක්ෂ, ඇතුළු නිලධාරිහු රැසක් එක්ව සිටියහ.

[ෆර්හාන් නිසාම්දීන්]


‘Madras Colombo Regatta’ ඔරු පැදීමේ තරගාවලිය හෙට කොළඹදී

ලෝකයේ පැරණිතම අන්තර් සමාජ ඔරු පැදීමේ තරගාවලියක් වන ‘Madras Colombo Regatta’අන්තර් සමාජ ඔරු පැදීමේ තරගාවලිය හෙට ශ්‍රී ලංකා ඔරු පැදීමේ සංගමයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ඔරු පදින්න්ගේ සංගමය කටයුතු යොදා ඇත.

1898 පළමු වරට ඇරඹි මෙම තරගාවලිය වටින් විට අවස්ථා කිහිපයකදී පැවැත්වීමට නොහැකි වී ඇති අතර මෙවර එය පවත්වන්නේ 79 වැනි වරටය.

ශ්‍රී ලංකාවේ ඔරු පදින්නන්ගේ සංගමය මෙන්ම පැරණිතම ඔරු පැදීමේ සංගමයක් වන මදුරාසි ඔරු පැදීමේ සංගමය නියෝජනය කරමින් ක්‍රීඩිකාවන් 5දෙනෙක් සහ ක්‍රීඩකයෝ 13දෙනෙක් මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.

මාතෘකා