අවුරුදු 20න් පහළ යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය

 ඡායාරූපය:

අවුරුදු 20න් පහළ යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය

අරුණ හා අමාෂා දෙවැනි වටයට

ෆින්ලන්තයේ ටැම්පරේ නුවර දී පසුගියදා ආරම්භ වුණු අවුරුදු 20න් පහළ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 බාලක හා මීටර් 100 බාලිකා මූලික තරග ඉසව් වෙනුවෙන් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.

ඊයේ පැවැති බාලක මීටර් 400 මූලික වටයේ සිව්වැනි තරග ඉසව්වට පෙනී සිටි අකුරම්බොඩ වීර කැප්පෙටිපොළ විද්‍යාලයේ අරුණ දර්ශන තත්පර 46.81කින් ඉසව්ව නිමකළේ එහි පළමුවැනියා වශයෙනි. තමන් සහභාගිවූ මූලික තරගයේ අටවැනි මංතීරුවේ තරග වැදුණු හෙයින් මෙම තරගයේදී ඔහුගේ උපරිම දක්ෂතා දක්නට නොලැබුණේයැයි පැවසිය හැකිය. මූලික වටය ජයගනිමින් අවසන් පූර්ව වටය සඳහා පිවිසීමේ අපේක්ෂා සහිතව පමණක් මෙම තරගයට තරග වැදී සිටි හෙයින් පුද්ගලික දක්ෂතාව පිළිබඳ අරුණ දර්ශන එතරම් සැලකිලිමත් වී නොතිබුණේය.

ඔහු මූලික වටයේ වාර්තා කළ කාලයත් සමඟ අවසන් පූර්ව වටයේ තෙවැනි තරගයට තරග වැදීමට නියමිතව ඇත. එහිදී ඔහු 6 වැනි මංතීරුවේදී තරග වදී. ඊයේ පැවැති මූලික වටයේ තරග වලින් ඔහුට ඉදිරියෙන් සිටිමින් ක්‍රීඩකයන් තිදෙනෙකු හොඳ තරග නිමි කාලයක් වාර්තා කර තිබේ. ඔවුහු බාබෙඩෝස්, ජැමෙයිකා යන රාජ්‍යයන් නියෝජනය කරමින් මෙවර තරගාවලියට තරග වැදී සිටිති.

මේ අතර මීටර් 100 බාලිකා ධාවන තරගයේ මූලික වටයේ සිව්වැනි තරගය සඳහා සහභාගිවූ අමාෂා ද සිල්වා එම ඉසව්වේ පස්වැනියා වශයෙන් තරගය නිම කළාය. එහිදී ඇගේ තරග නිමි කාලය ලෙස සටහන් වූයේ තත්පර 11.75කි. ඇය සහභාගිවූ මූලික තරගයේ පළමු තැන දිනාගත් ක්‍රීඩිකාව තත්පර 11.35කින් තරගය නිමකරමින් මෙවර තරගවාරයේ හොඳම කාලය සනිටුහන් කරගත් අතර තරගය අවසානයේ සිදුකළ ගණනය කිරීම් වලට අනුව එම තරග ඉසව්ව නිමාකළ ක්‍රීඩිකාවන් අතර අමාෂා ලොව 19 වැනි ස්ථානයට පත්ව සිටී. එම ඉසව්ව වෙනුවෙන් මෙතෙක් ඇය දක්වා ඇති උපරිම දක්ෂතාවය තත්පර 11.71කි. ඒ පසුගියදා ජපානයේ ගිෆූහිදී පැවැති ආසියානු ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදීය.

අද පැවැත්වීමට නියමිත තරග

මීටර් 100 බාලිකා අවසන් පූර්ව හා අවසන් මහා තරග අද පැවැත්වීමට නියමිතව ඇති අතර බාලක මීටර් 400 අවසන් පූර්ව තරගය වෙනුවෙන් අරුණ දර්ශන තරග වැදීමට නියමිතය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා

ජනප්‍රිය ලිපි