ගාල්ලට මඳ වැසි පතිත වද්දී ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය අද ඇරඹෙයි

 ඡායාරූපය:

ගාල්ලට මඳ වැසි පතිත වද්දී ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් තරගය අද ඇරඹෙයි

දෙරට අතර වසර විසි පහක ටෙස්ට් අතීතය සමරමින් ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. 1993 වසරේ සිට දෙරට අතර ටෙස්ට් තරග විසි පහක් පවත්වා තිබේ. ඉන් තරග 14ක ජය හිමිව ඇත්තේ දකුණු අප්‍රිකා පිලටය. තරග පහක් පමණක් මෙවර තරගාවලියේ සත්කාරකයන් වන ශ්‍රී ලංකාව ජයගෙන ඇත. සෙසු තරග ජය පැරදුමෙන් තොරව නිමාවී තිබේ.

මේ අතර පසුගිය දින කීපයේ සිට ගාල්ල ප්‍රදේශයට කඩින් කඩ ඇදහැලෙන වැසි හේතුවෙන් අද ඇරඹෙන ටෙස්ට් තරගයට කිසියම් බලපෑමක් වෙත්ද යන්න සම්බන්ධයෙන් සැක සංකා මතුව තිබේ. කාලගුණ වාර්තාවට අනුව තරමක තද වැසි පතිත වීමේ අවදානමක් පවතින බවද පැවසිය යුතුය. කෙසේ වෙතත් ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව හා පිටත ක්‍රීඩාංගණය හොඳින් ආවරණය කිරීමට පිටියේ කාර්ය මණ්ඩලය කටයුතු කරන හෙයින් විශාල වැසි නොවැටෙන්නේ නම් වර්ෂාව අවසන් වූ පසු බාධාවකින් තොරව තරගය පවත්වාගෙන යාමේ හැකියාව පවතින බව ක්‍රිකට් ක්‍රීඩාංගණ භාර නිලධාරීහු ප්‍රකාශ කරති. එහෙයින් දඟ පන්දුයවන්නන්ට වඩා හිතකර තණතීරුවක් ලෙසින් සැලකෙන ගාල්ල තණතීරුවෙන් මැදහත් ඵල නෙළා ගන්නට සත්කාරකයන්ට ලැබෙන හොඳම අවස්ථාව ලෙස මෙම අයහපත් කාලගුණයේ බලපෑම් සැලකිය හැකිය.

අද ආරම්භවන තරගය අතරතුර අපේක්ෂා නොකරන අයුරින් වරින් වර ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් වසා දැමෙන තණතීරුව හා අවට වායුගෝලයේ ආර්ද්‍රතාව, දකුණු අප්‍රිකානු වේග පන්දු යවන්නන්ට වැඩි වාසි උකහාගැනීමට අවස්ථාව උදාකර දෙනු ඇතැයි විශ්වාස කෙරේ. එය උප මහාද්වීපික තණතීරු මත ආරම්භයේ සිටම යම් උකටලී භාවයක් දැක්වූ සංචාරක දකුණු අප්‍රිකානුවන් යළි පණගසා අවධිකිරීමක් වනු ඇත.

අද ආරම්භවන තරගයට දකුණු අප්‍රිකාව වේග පන්දුයවන්නන් තිදෙනෙකු හා දඟ පන්දු යවන්නන් දෙදෙනෙකු එක්ව තරග වැදීමට සංචාරකයන් සැලසුම් කර ඇත්තේ එහෙයිනි. පවතින කාලගුණයෙන් තමන්ගේ වේග පන්දුයවන්නන් තිදෙනාගෙන් වැඩි වාසි උකහාගැනීමට හැකිවෙතැයි පුහුණුකරු ඔටිස් ගිබ්සන් දැනටමත් විශ්වාසය පළකර තිබේ. තම වේග පන්දු බල ඇණිය ශක්තිමත් කරමින් ඩේල් ස්ටේන් කණ්ඩායමට එක්ව තිබීමත් උප මහාද්වීපික තණතීරු මත ඔහු මෙන්ම වර්නන් පිලැන්ඩර්ගේ අත්දැකීම් උකහාගැනීමට අවස්ථාව සැලසීම පිළිබඳවත් ඔවුන් දරන්නේ සුබවාදී ආකල්පයකි. කගිසෝ රබාඩා වැනි වේග පන්දුයවන්නකුට ඔවුන් සමඟ ක්‍රීඩා කිරීමෙන් උපමහාද්වීපික මන්දගාමී තණතීරු මත උකහා ගත හැකි අත්දැකීම් සම්භාරය ගැනත් සංචාරකයින් සිටිනුයේ දැඩි විශ්වාසයකිනි.

සාමාන්‍යයෙන් තෙවැනි දිනයේ අවසන් භාගය වනවිට දඟ පන්දුයවන්නන්ට වඩාත් සහයෝගය පළකිරීම ආරම්භ කරන ගාලු තණතීරුවේ පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාව අධෛර්යමත් කිරීම සඳහා මෙම වෙනස් වන සුළු කාලගුණයේ වාසි උකහාගැනීම දකුණු අප්‍රිකානුවන්ගේ අපේක්ෂාව වී ඇත. එමගින් සිව්වැනි ඉනිම ක්‍රීඩා කිරීමේ අවධානමෙන් මිදීමට අවස්ථාව උදාවෙතැයි යන අපේක්ෂාවද දකුණු අප්‍රිකානුවන් තුළ පවතී.

ශ්‍රී ලංකා කණ්ඩායම පාර්ශ්වයෙන් බලන කල දඟ පන්දුයවන්නන් දෙදෙනෙක්, වේග පන්දුයවන්නන් තිදෙනෙකු කණ්ඩායමට එක්කරගන්නේ නම් පිතිකරුවන් හය දෙනෙකුගේ සංයුතියකින් ඉදිරියට යාමට සිදුවීම කළමනාකාරිත්වය ඉදිරියේ ඇති වාස්තවික සත්‍ය වී තිබේ. ඒ වෙනුවට පිතිකරුවන් සය දෙනෙකු හා විශේෂඥ පන්දුයවන්නන් සිව් දෙනෙකු සමඟ පළමු ටෙස්ට් තරගයට පිවිසීම ඔවුන්ගේ අවිඥානයේ ඇති අභිලාශයවී ඇත. එහෙත් පිතිහරඹය පාර්ශ්වයෙන් එතරම් සංවෘත නිත්‍ය පන්දුයවන්නන් සීමාකළ කණ්ඩායමක් සමඟ තරගයට යන්නේ නම් දකුණු අප්‍රිකානු කණ්ඩායම, ටෙස්ට් තරගයක් තුළ දෙවරක් දවා ගැනීමට හැකිදැයි යන්න ගැනද ශ්‍රී ලංකා කණ්ඩායම තුළ ඇත්තේ සැකයකි.

එහෙයින් අද ආරම්භ වන ටෙස්ට් තරගයේ අවසන් කණ්ඩායම තෝරාගැනීම සම්බන්ධයෙන් සත්කාරකයන් දැඩි පීඩනයකට ලක්ව ඇතිබව පිළිගත යුතුව ඇත. සංචාරක දකුණු අප්‍රිකාවට මේ සම්බන්ධයෙන් එතරම් ගැටලුවක් නොමැත්තේ ඔවුන් තරගයට වේගපන්දුයවන්නන් තිදෙනකු හා දඟ පන්දුයවන්නන් දෙදෙනෙකු සමඟ මුලසිටම තරග වැදීමේ අපේක්ෂාවෙන් පසුවන හෙයිනි. එහෙයින් ඔවුනට ඇත්තේ කණ්ඩායමට ඇතුළත් කරනු ලබන ක්‍රීඩකයන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීම පමණි.

අද තරගයට ක්‍රීඩා කිරීමට තෝරාගනු ඇතැයි විශ්වාස කෙරෙන කණ්ඩායම මෙසේය.

ශ්‍රී ලංකාව - සුරංග ලක්මාල්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, රොෂේන් සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ළහිරු කුමාර, දිල්රුවන් පෙරේරා.

දකුණු අප්‍රිකාව - ෆැෆ් ඩි ප්ලෙසිස්, හසීම් අම්ලා, ටෙම්බා බවුමා, ක්වින්ටන් ද කොක්, තෙයිනිස් ඩි බෘයන්, ඩීන් එල්ගර්, කේසව් මහරාජ්, වර්නන් පිලැන්ඩර්, ඩේල් ස්ටේන්, කගිසෝ රබාඩා, ටැබ්රිෂ් ෂැමාසි

මාතෘකා