ප්‍රංශය තෙවන වරටත් අවසන් තරගයට

 ඡායාරූපය:

ප්‍රංශය තෙවන වරටත් අවසන් තරගයට

අඟහරුවාදා රාත්‍රිය පැරිස්, පියොන්ස් මාසෙල්ස් ඇතුළු එරට ප්‍රධාන නගර සියල්ලම සැණකෙලි සිරියෙන් ඒකාලෝක කරමින් ප්‍රංශ පාපන්දු කණ්ඩායම මෙවර ලෝක ශූරතා තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට සමත් විය.

ඒ රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් හි පැවති අවසන් පූර්ව තරගයේදී මෙතෙක් සහභාගීවූ සියලුම තරග ජයගත් කණ්ඩායම් දෙකෙන් එකක් වන බෙල්ජියම ගෝල 1-0ක් ලෙස පරාජය කරමිනි.

තරගය පුරාම කණ්ඩායම් ද්විත්වය වෙනුවෙන්ම වැඩි දක්ෂතා ප්‍රකට කළේ දැල් රකින්නන් දෙදෙනාය. ඒ අතරින් ප්‍රංශ නායකයා සහ දැල් රකින්නා වන හ්‍යුගෝ ලියොරිස් දැක්වූ දක්ෂතා කලකින් පාපන්දු පිටියේ දක්නට ලැබුණු විශිෂ්ටම සහ අනර්ඝතම දැල් රැකීමක් ලෙස පැවසිය හැකිය.

තරගයේ 21වැනි මිනිත්තුවේදී ‍බෙල්ජියමේ ඒඩ්න් හසාර්ඩ් එල්ල කළ වේගවත් ප්‍රහාරයක් වැළැක්වීමට ලියොරිස් සමත් වූ අතර පළමු අර්ධයේදී තවත් ප්‍රබල බෙල්ජියම් ප්‍රහාර 2ක් වැළැක්වීමටද ඔහු සමත් විය. ඒ ආකාරයටම ම්බාපේ සහ ග්‍රීස්මාන් ඇතුළු ප්‍රංශ ප්‍රහාරකයින්ගේ ඉලක්ක 2ක් ආවරණය කිරීමට බෙල්ජියම් දැල් රකින්නා වන තිබවුට් කෝටොයිස් ද සමත් විය.

දෙපිලම පීඩනය මැද කළ හරඹයකින් පසුව පළමු අර්ධය අවසන් වූලේ දෙපිලටම ගෝල ලබා ගැනීමට නොහැකි වීමෙනි.

පළමු අර්ධයේ මෙන්ම දෙවැනි අර්ධයේදී ප්‍රංශයේ කිලියන් ම්බාපේ තමන්ට පන්දුව ලැබුණු සෑම අවසථාවකදීම පාහේ ඉතා වේගවත් ලෙස බෙල්ජියම් ගෝල සීමාව වෙත පන්දුව ගෙන යාමට උත්සාහ කරනු දක්නට ලැබුණි. එම උත්සාහය බොහෝ අවස්ථාවලදී සාර්ථකවූ අතර එය බෙල්ජියමට අතිරේක පීඩනයක් විය. ගෝලයක් ලබා ගැනිමට සමත් නොවුවද ම්බාපේගේ ක්‍රීඩා විලාශය අවසන් තරගයට පැමිණෙන කුමන කණ්ඩායමකට වුවද හිසරදයක් වනු නියතය. එසේම මෙම තරගයේදී බෙල්ජියමේ සුපිරි ප්‍රහාරක රොමෙලු ලුකාකු හට සුපුරුදු දක්ෂතා දැක්වීමට නොහැකි වූ අතර එය ප්‍රංශ ආරක්ෂක ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය ලෙස පැවසිය හැකිය.

දෙවැනි අර්ධයේ තරගය ආරම්භකිරීමෙන් පසු 51වැනි මිනිත්තුවේදී ප්‍රංශයට ලැබුණු පැති ප්‍රහාරයක (කෝනර් කික්) වගකීම බාරගත් ග්‍රීස්මාන් විසින් එය මැනවින් එල්ල කළ අතර ප්‍රංශ ආරක්ෂක පෙළ ක්‍රීඩක සැමුවෙල් උමිටිටි තම හිසෙන් එම පන්දුව දැල තුළට යොමු කරමින් තරගයේ වාර්තාවූ එකම ගෝලය තම පිල වෙනුවෙන් වාර්තා කළේය. ස්පාඤ්ඤයේ බාසිලෝනා කණ්ඩායමට ක්‍රීඩාකරන උමිටිට විසින් සිය ජාත්‍යන්තර පාපන්දු දිවියේ වාර්තා කරන ලද තෙවැනි ගෝලය එය වීමද විශේෂත්වයකි.

ඉන් අනතුරුව දෙපිල කොතෙක් උත්සාහ දැරුවද ගෝල වාර්තා කිරීමට කිසිදු ක්‍රීඩකයෙකුට හැකිවූයේ නැත. අපතේ ගිය කාලය වෙනුවෙන් අමතර මිනිත්තු 7ක කාලයක්ද ලැබුණු හෙයින් 97වැනි මිනිත්තුවේදී විනිසුරු සංඥාව අනුව තරගය නතර කිරීමත් සමඟ පළමු වරට පාපන්දු ලෝක කුසලාන තරගාවලියක අවසන් තරගයකට සුදුසුකම් ලැබීමට බෙල්ජියමට තිබූ අවස්ථාව ගිලිහී ගියේය. එක් පාර්ශ්වයක අසමත්වීම තවත් පාර්ශ්වයක ජයග්‍රහණය සැමරුමක් වූ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් තෙවැනි වරටත් අවසන් තරගයකට සහභාගීවීමේ අවස්ථාව ප්‍රංශය උදාකර ගත්තේය.

 

[ඩබ්ලිව්. ආර්. කුමාර]]

මාතෘකා