අවුරුදු 20න් පහළ යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය.

 ඡායාරූපය:

අවුරුදු 20න් පහළ යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය.

අරුණ දර්ශන හා අමාෂා ද සිල්වා අද තරග බිමට

ෆින්ලන්තයේ ටැම්පරේ නුවර දී ඊයේ ආරම්භ වුණු අවුරුදු 20න් පහළ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේ පැවැති මීටර් 3000 බාධක දිවීම හා මීටර් 800 බාලිකා මූලික තරග ඉසව් වෙනුවෙන් සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනාට දෙවැනි වටයට පිවිසීමේ අවස්ථා අහිමි විණි.

උදාසන පැවැති මීටර් 3000 බාධක දිවීමේ තරගයට පළමුවෙන්ම ඉදිරිපත්ව සිටි පාරමී වසන්ති මාරිස්ටෙලා සිය දෙවැනි මූලික තරගයේ පස්වැනි හොඳම කාලය වාර්තාකිරීමට සමත් වූවාය. විනාඩි 20.10.12කින් ඈ ඉසව්ව නිමකළ අතර එම කාලය මෙවර තරගාවලියේ මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ලෝකයේ වාර්තා වූ හොඳම 21 වැනි කාලයද විය.

මේ අතර මීටර් 800 බාලිකා ඉසව්ව වෙනුවෙන් ඩිල්ෂි ශ්‍යාමලී කුමාරසිංහ මූලික වටයේ දෙවැනි තරගයේදී අවසන් ක්‍රීිඩිකාව වශයෙන් මිනිත්තු 2.12.91 තම ඉසව්ව නිම කළාය. එය ඇගේ පුද්ගලික දක්ෂතාවයට වඩා අඩු දක්ෂතාවක් ලෙස වාර්තා විණි. ඩිල්ෂි කුමාරසිංහට හිමිවූයේ සමස්ත ඉසව්වේ 30 වැනි ස්ථානයයි.

අද පැවැත්වීමට නියමිත තරග

ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම වැඩි වශයෙන් අපේක්ෂා තබා ඇති බාලක මීටර් 400 තරගය අද පැවැත්වීමට නියමිතව ඇත. මූලික වටයේ තෙවැනි තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායක අරුණ දර්ශන තරග වදී. මීටර් 400 බාලක ඉසව්ව වෙනුවෙන් මෙතෙක් පැවැති තරග වලදී වාර්තා කළ හොඳම සිව්වැනි තරග නිමි කාලයේ හිමිකරුවා වනුයේද ඔහුය.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සහභාගිවන තවත් ඉසව්වක්ද අද පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අමාෂා ද සිල්වා සහභාගිවන බාලිකා මීටර් 100 ඉසව්වේ මූලික වටයේ තරගයයි. එම ඉසව්වේ සිව්වැනි මූලික තරගය සඳහා ඇය තරග වැදීමට නියමිතව තිබේ. ඇගේ තරග නිමි කාලය මේ වසරේ වාර්තාවී ඇති තරග නිමි කාලයන්ට අනුව 27 වැනි ස්ථානයට ස්ථානගතව ඇත. තත්පර 11.71කින් තරගය නිමකරමින් ඇය සිය උපරිම දක්ෂතාව දක්වා තිබේ.

 

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා