හතුරුසිංහ, ගුරුසිංහ හා චන්දිමාල්ගේ පරීක්ෂණය අද විකල්ප අප සතුයි - ශ්‍රී ලංකා ක්‍රිකට්

 ඡායාරූපය:

හතුරුසිංහ, ගුරුසිංහ හා චන්දිමාල්ගේ පරීක්ෂණය අද විකල්ප අප සතුයි - ශ්‍රී ලංකා ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ, හිටපු කළමනාකරු අසංක ගුරුසිංහ, නායක දිනේෂ් චන්දිමාල් සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනය පවත්වන පරීක්ෂණය අද මෙරට වේලාවෙන් පස්වරු හයට පැවැත්වේ. ගාල්ලේ සිට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ අයි.සී.සී. පරීක්ෂණය සඳහා ඔවුන් පෙනී සිටීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා රැසට පැවසීය.

අදාළ පරීක්ෂණයේ ප්‍රතිඵල අද දිනයේදීම ලබාදීමට නියමිතව ඇති හෙයින් එම අයි.සී.සී. තීරණයට යටත්ව හෙට පැවැත්වෙන තරගයේදී ගනු ලබන තීරණයකට තම ආයතනය සූදානමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය. යම් හෙයකින් දඬුවම් කාලය කල් දැමීමට අයි.සී.සී. ය කටයුතු කරන්නේද යන්න සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ප්‍රධාන විධායක නිලධාරියා පැවසූයේ එවැනි පසුබිමක් අපේක්ෂා කළ නොහැකි බවයි. කෙසේ නමුත් අයි.සී.සී. ය එළඹෙන ඕනෑම තීරණයකට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුට එරෙහිව තරග තහනමක් පැනවෙන්නේ නම් එහිදී තිලාන් සමරවීරට වගකීම් පැවරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ තවමත් නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. ‘අපි දන්නෙ නෑ පරීක්ෂණයේ ප්‍රතිඵලය ගැන. නමුත් ප්‍රතිඵලය අනුව ගත යුතු ක්‍රියාමාර්ග අපි සැලසුම් කරලා තියෙනවා. හෙට අපි අපේ අවසන් තීරණය මොකක්ද කියලා නිවේදනය කරන්නම්. අවසන් මොහොත වනතුරු අපේ පුුහණුකරු චන්දික හතුරුසිංහයි’යැයි පැවසීය.

මේ අතර අසංක ගුරුංසිහ සිය කළමනාකාරිත්වයේ වගකීම් දරනු ලබන්නේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය දක්වා පමණක් බව මීට පෙර ප්‍රකාශ වුණු අතර චන්දිම මාපටුන ඒ සඳහා පත්කිරීමේ සූදානමක් පවතින බව ප්‍රකාශ වුණේය. දිනෂේ චන්දිමාල්ගේ භූමිකාව ඇන්ජලෝ මැතිව්ස් හෝ සුරංග ලක්මාල් යන ක්‍රීඩකයන් අතර දෝලනය වෙමින් ඇති අතර රංගන හේරත් සම්බන්ධයෙන්ද මෙහිදී කතිකාවට ලක්ව ඇතැයි සඳහන්ය.

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා