එංගලන්ත ක්‍රොඒෂියා සටන අද

 ඡායාරූපය:

එංගලන්ත ක්‍රොඒෂියා සටන අද

විසි එක්වැනි පාපන්දු ලෝක ශූරතාවයේ දෙවැනි අවසන් පූර්ව තරගය මොස්කව්හි ලුෂ්නිකි ක්‍රීඩාංගණයේදී එංගලන්තය සහ ක්‍රොඒෂියාව අතර අද පැවැත්වේ.

තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 11.30ට ආරම්භ වීමට නියමිතය. අද පැවැත්වෙන අවසන් පූර්ව තරගය එංගලන්තය ජයගනු අති බවට ඇති විශ්වාසය සියයට 42කි. ක්‍රොඒෂියාව ජය ගන්නා බවට සියයට 27 ක් විශ්වාසය දක්වා ඇත.

තරගාවලිය ආරම්භ කිරීමට පෙර එංගලන්තය ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 12වැනි ස්ථානයේ පසුවූ අතර ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා පැවති සම්භාවිතාව 16/1ක් විය. ක්‍රොඒෂියාවට එය 25/1ක් ලෙසින් සැලකිණි. ඔවුන් ජගත් පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 25 වැනි ස්ථානයේ පසුවූයේය.

ලෝක ශූරතා පාපන්දු තරගාවලියක එංගලන්තය අවසන් පූර්ව තරගයකට එක්ව සිටින්නේ 1990 තරගාවලියෙන් පසුය. එවර ජර්මනිය හමුවේ එංගලන්තය දඬුවම් පහර 4-3ක් ලෙසින් පරාජය විණි. ඊට පෙර 1966 අවසන් පූර්ව තරගයේදී පෘතුගාලයට එරෙහිව ගෝල 2-1ක් ලෙස ජයගෙන අවසානයේ ශූරතාව දිනා ගැනීමටද සමත් විය. ඒ තම මව්බිමේදීමය. මෙවර එංගලන්ත කණ්ඩායම 1966 කණ්ඩායමට වඩා ඉහළින් සිටීමට සෑම දෙයක්ම කරනු ඇත.

ක්‍රොඒෂියාව 1998 සිට තරගාවලිය නියෝජනය කරන අතර එම තරගාවලියේ ඔවුන් තුන්වැනි ස්ථානය ලබා ගනිමින් පෙරළිකාර කණ්ඩායමක් බවට පත්විය. එවර ඔවුන් අවසන් පූර්ව තරගයේදී පරාජය වූයේ සත්කාරක ප්‍රංශය හමුවේ ගෝල 1-2ක් ලෙසිනි. ඉන් අනතුරුව ක්‍රොඒෂියාව ලෝක කුසලාන පාපන්දු අවසන් පූර්ව වටයට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. ඇතැම් විචාරකයින් වර්තමානයේ ලොව සිටින දක්ෂතම මැද පෙළ ක්‍රීඩකයා ලෙස හඳුන්වන ලුකා මොඩ්රික් ඇතුළු ක්‍රොඒෂියාව මෙවර තම කණ්ඩායම උදාකරගත් අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනු ඇති බවට විශ්වාස කෙරේ.

ක්‍රොඒෂියාවේ ප්‍රහාරක ක්‍රීඩක මාරියෝ මැන්ඩ්සුකිච් අද පැවැත්වෙන අවසන් පූර්ව තරගය පිළිබඳව පවසන්නේ ‘‘අප සතුව හොඳ පළපුරුදු ක්‍රීඩකයින් වගේම විශිෂ්ට තරුණ ක්‍රීඩකයින් ඉන්නවා. අපි හොඳ කණ්ඩායමක්. අවසන් තරගයට එන්න කණ්ඩායම් දෙකටම 50-50 අවස්ථාවක් තියෙන බව අපි දන්නවා. අපි හැමදෙනාටම ගරු කරනවා. අපට අපිව විශ්වාසයි. අපි හිතන එකම දේ තමයි කොහොමද හොඳින් ක්‍රීඩා කළ යුත්තේ කියන කාරණය.’’

මෙයට පෙර කණ්ඩායම් දෙක අතර පැවති තරග 7න්, 4ක ජය එංගලන්තයටත් 2ක ජය ක්‍රොඒෂියාවටත් හිමිවී ඇති අතර එක් තරගයක් ජය පැරදුමින් තොරව අවසන්වී තිබේ.

අවසන් පූර්ව තරගයේදී නායක හැරී කේන්, ජෝන් සටොන්ස්, හැරී මැග්වායර් සහ ජෙස් ලින්ගාර්ඩ් ගේ දස්කම් දැක බලා ගැනීමට එංගලන්තය සුදානම් වන විට ක්‍රෝඒෂියානු පාපන්දු ලෝලීන් නායක ලුකා මොඩ්රික් මෙන්ම මාරියෝ මැන්ඩ්සුකිච්, ඉවාන් රැකටිච් සහ ඉවාන් පෙරිසික් තම කණ්ඩායම අවසන් තරගයට රැගෙන යාමට සමත් ක්‍රීඩකයින් ලෙස සලකති.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා