පාපන්දු පිටියේ හැඟීම්වලින් ක්‍රීඩා කරන මිනිස්සු

 ඡායාරූපය:

පාපන්දු පිටියේ හැඟීම්වලින් ක්‍රීඩා කරන මිනිස්සු

පාපන්දු ලෝක ශූරතා තරගාවලියේ වඩාත් අවධානයට යොමු වන්නේ එක් එක් කණ්ඩායම්වල සිටින සුපිරි ක්‍රීඩකයින් සම්බන්ධයෙනි. ප්‍රහාරක, මැද පෙළ, ආරක්ෂක පෙළ මෙන්ම සුපිරි දැල් රකින්නන් ගැනද ඒ අතර අවධානය යොමුවේ. ඒ පාපන්දු පිටියේදී ප්‍රේක්ෂක දෙනෙත් ඉදිරිපිට ඔවුන් පානා පෙළහර හේතුවෙනි.

ක්‍රීඩකයින් මෙන්ම තරගයක් අතරතුරදී නරඹන්නන්ගේ අවධානයට ලක්වන තවත් පුද්ගලයෙක් මේ සෑම කණ්ඩායමක් සතුවම සිටී. බොහෝ විට තරගයක් අතරතුර ක්‍රීඩකයින්ටත් වඩා ආවේගශීලීව හැසිරෙන්නේ ඔවුන්ය. තරගයක සජීවි පෙළහර රූපගත කරනා කැමරාකරුවන්ද, ක්‍රීඩකයින් මෙන්ව ඔවුන්ගේ ආවේගශීලී හැසිරීම තම කැමරා කාච තුළ සටහන් කරගන්නේ එ් හේතුවෙනි. මේ අන් කවරකුවත් නොව කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු සේම කළමනාකරුවා වශයෙන් කටයුතු කරන්නාය.

රුසියාවේදී කැමරා කාචයන්ට හසුවූ සහ හසුවන එවැනි පුහුණුකරුවෝ කිහිපදෙනෙක්ම වෙති. ඔවුන් අතරින් කිහිපදෙනෙක්ම මේවන විට පාපන්දු ලෝලීන් අතර අතිශයින්ම ජනප්‍රිය චරිත බවට පත්වී ඇත. ඒ අතරින් ප්‍රධාන වන්නේ මෙවර තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්වී සියරට බලා යාමට සිදුවූ ලෝක ශූර ජර්මන් පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ජාකීම් ලාව්ය. 58 හැවිරිදි ලාව් ජර්මන් ජාතික පාපන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ 2006 වසරේ සිටය. 2014 තරගාවලියෙන් ලෝක ශූර කිරුළ ජර්මානුවන්ට ලබා ගැනීමට ප්‍රධාන දායකත්වයක් සැපයූ අයෙක් ලෙස ජාකීම් ලාව්ට අදත් ජර්මන් වැසියෝ ගරු බහුමන් දක්වන්නෝය.

මෙවර තරඟාවලියේ සිටින ජාතික පාපන්දු කණ්ඩායමක පුහුණුකරුවෙක් ලබන ඉහළම වාර්ෂික වැටුප ලබන්නේ ද ලාව් ය. එය යූරෝ මිලියන 3.8කි. ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් මිලියන 703කි.

වැඩිම ගෙවීම් ලබන පුහුණුකරුවන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ බ්‍රසීල කණ්ඩායමේ පුහුණුකරු වන 57 හැවිරිදි ඇඩෙනෝර් ලියනාර්ඩෝ බැචීය. නමුත් පාපන්දු ලෝකය ඔහුව හඳුන්වන්නේ ටයිට් ලෙසය. ටයිට් ගේ වාර්ෂික වැටුප යූරෝ මිලියන 3.6කි (රු. මි. 666කි). 2016 වසරේ සිට බ්‍රසීල පුහුණුකරු ලෙස ටයිට් කටයුතු කරයි.

ටයිට් සමග සම තැන් ගැනීමට ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ඩිඩියර් ඩෙස්චැම්ප්ස් සමත්ව සිටී. පනස් වැනි වියේ පසුවන ඩෙස්චැම්ප්ස්ගේ වාර්ෂික වැටුප ද යූරෝ මිලියන 3.6කි (රු. මි. 666කි). ඔහු ප්‍රංශ පුහුණුකාර ධුරය බාරගන්නා ලද්දේ 2012 වසරේදිය.

මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරන රුසියාවේ ප්‍රධාන පුහුණුකරු ස්ටැනිස්ලාව් චෙර්චෙසොව් යූරෝ මිලියන 2.5ක (රු.මි. 462කි) වැටුපකට හිමිකම් කියන අතර 54 හැවිරිදි චෙර්චෙසොව් 2016 වසරේ සිට රුසියානු පුහුණුකාර ධුරයේ කටයුතු කරයි.

පෘතුගාල පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ෆර්නැන්ඩෝ සැන්ටෝස් මෙම ලැයිස්තුවේ පස්වැනියායි. සැන්ටෝස්ගේ වාර්ෂික වැටුප යූරෝ මිලියන 2.2කි. (රු.මි. 407කි). 63 හැවිරිදි සැන්ටෝස් 2014 වසරේ සිට පෘතුගීසීන්ගේ පුහුණුකරුවාය.

කාලෝස් ක්වේරෝස් යූරෝ මිලියන 1.9ක (රු. මි. 351කි)වාර්ෂික වැටුපකට හිමිකම් කියන අතර ඉරාන ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවා වන්නේ ඔහුයි. ලැයිස්තුවේ හයවැනියා වන 65 හැවිරිදි පෘතුගීසි ජාතික ක්වේරෝස්, 2011 වසරේ සිට ඉරානයට පාපන්දු පාඩම් කියාදේ.

ක්වේරෝස් සමග සමතැන් ගන්නා එංගලන්ත ප්‍රධාන පුහුණුකරු වන ගැරත් සවුත්ගේට් ද යූරෝ මිලියන 1.9ක (රු. මි. 351කි). වාර්ෂික මුදලක් උපයා ගනී. 2016 වසරේ සිට එංගලන්ත කණ්ඩායමේ පුහුණුකාර ධූරය දරන සවුත්ගේට් 47 හැවිරිදිය.

අටවැනි ස්ථානයේ සිටින්නේ ආර්ජන්ටිනා පාපන්දු පුහුණුකරු ජෝර්ජ් සැම්පාඔලි ය. යූරෝ මිලියන 1.8කි (රු. මි. 333කි) වැටුපකට හිමිකම් කියන 58 වියැති සැම්පාඔලි ආර්ජන්ටිනා පුහුණුකාර ධුරය බාර ගත්තේ 2017 වසරේදී ය.

ඔස්කා ටැබරේස් උරුගුවේ ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකාර ධූරය දරන්නේ 2006 වසරේ සිටය. 71 හැවිරිදි ටැබරේස් යූරෝ මිපියන 1.7ක (රු. මි. 314ක) වැටුපකට හිමිකම් කියයි. ලැයිස්තුවේ නවවැනියා ඔහුය.

යූරෝ මිලියන 1.5ක (රු. මි. 277ක) වාර්ෂික වැටුපක් ලබන දස වැනි ස්ථානයේ පසුවන හෙක්ටර් කුයිපර් ඊජිප්තු පිලේ පුහුණුකාර ධුරය හොබවයි. 62 හැවිරිදි ආර්ජන්ටිනා ජාතික කූපර් 2015 වසරේ සිට ඊජිප්තු ජාතික කණ්ඩායමේ පුහුණුකරුය.

මේ ආදායම් ලැයිස්තුව කියවාගෙන යද්දී අපට හැඟෙන්නේ ලෝක පාපන්දු ක්‍රීඩා තරගයක් අතරතුර ආවේගයෙන් කෑගසන මේ මිනිසුන් එසේ හැසිරුණාට කම් නැති බවය. ඔවුන්ගේ පසුම්බියට වැටෙන මුදල් සැලකිල්ලට ගනිද්දී ඒ බව වටහාගන්නට අපට හැකිය.

[ඩබ්ලිව්.ආර්. කුමාර]

මාතෘකා