ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිත්වය තිලාන්ට පැවරෙන ලකුණු?

 ඡායාරූපය:

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිත්වය තිලාන්ට පැවරෙන ලකුණු?

ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමඟ යළි සිය පුහුණුවීම් කටයුතු අරඹා තිබේ. දකුණු අප්‍රිකාව සමඟ ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට පෙර පවත්වන අවසන් පුහුණු සැසිය මෙයවන හෙයින් අතිශය කාර්ය බහුල බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

අනිද්දා ආරම්භවීමට නියමිත ප්‍රථම ටෙස්ට් තරගයේදී හා එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරණ වගකීම සම්බන්ධයෙන් නිර්මාණයවී ඇති අවිනිශ්චිතතාවය හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන පුහුණු කටයුතු කෙරේ චන්දික හතුරුසිංහ එලෙස සිය අවධානය දැඩි කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු පැවසීය.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගය අතරතුර පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවට විරෝධය පළකරමින් පැය දෙකක කාලයක් පිටියට පිවිසීම ප්‍රතික්ෂේප කිරීම පිළිබදව අයි.සී.සී. ය විසින් පවත්වන පරීක්ෂණය හෙට දිනයේ සිදුකිරීමට නියමිතය. මෙම පරීක්ෂණය සඳහා පුහුණුකරු චන්දික හතුරුසිංහ, එවකට කළමනාකරු අසංක ගුරුසිංහ හා නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් සහභාගිවීමට නියමිතව තිබේ.

එම පරීක්ෂණයේ ප්‍රතිඵලයන්ට අනුව අනිද්දා ආරම්භවන දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී පුහුණුකරුවා වශයෙන් තවදුරටත් නිල වගකීම් දරන්නේද නැද්ද යන්න හතුරුසිංහ තීරණය කරනු ඇත. දැනට ලැබෙන වාර්තාවලට අනුව පැවසෙන් මෙම අයි.සී.සී. පරීක්ෂණය මගින් ඔවුන් තිදෙනාට තරග තහනමක් පැනවීමේ අවස්ථාව ඉහළ අගයක් ගන්නා බවය.

යම් හෙයකින් එලෙස තරග තහනමක් පැනවෙන්නේ නම් දකුණු අප්‍රිකානු සංචාරය අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරුවා වශයෙන් කටයුතු කිරීමට පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීරට වගකීම පැවරීමට නියමිත බවද සඳහන්ය.

කොදෙව් සංචාරය නිමවීමෙන් අනතුරුව එංගලන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමට නියමිතව තිබූ චන්දික හතුරුසිංහට නිසි වේලාවට වීසා නොලැබීමත් සමඟ ඔහු කොදෙව් සංචාරය නිමවා කණ්ඩායම සමඟ යළි ශ්‍රී ලංකාවට නොපැමිණියේය. ඔහු යළි ජාතික කණ්ඩායම සමඟ එක්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණ දින කීපයක් ගතවීමෙන් අනතුරුවය.ඒ අනුව ඔහු මේ වනවිට ගාල්ලේ පැවැත්වෙන අවසන් පුහුණු සැසි සඳහා එක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය.

චන්දික හතුරුසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බාරගැනීමට ප්‍රථම පැවැති ඉන්දීය සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු වශයෙන් තිලාන් සමරවීර කටයුතු කළේය. එහිදී ඔහු සිය වගකීම් ඉටුකිරීමේදී සාර්ථකත්වයක් ප්‍රකට කළ හෙයින් එවැනි පත්කිරීමක් සිදුකරන්නේ නම් එය ගැටලුවක් නොවන බවද විචාරකයන් මත පළකර තිබේ.

[කසුන් ඉරුගල්බණ්ඩාර]


මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා ඇරඹෙයි

මධ්‍යම පළාත් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ තරග ලබන 12 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මහනුවර බෝගම්බර පිටියේ පැවැත්වෙන මෙම තරගාවලියේ සමාරම්භක උත්සව ඊයේ පැවැති අතර එහි ප්‍රධානත්වය දරනු ලැබුවේ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකානායක මහතාය. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේතුමේන්තුව විසින් තරගාවලිය සංවිධානය කර ඇත.


නුවන් කුලසේකර ෂිසෙල් දූපත් සංචාරයක

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලයේ නියෝජනය කළ සුපිරි වේගපන්දුයවන්නකු වන නුවන් කුලසේකර ෂිසෙල්ස් දූපත්හි ලක්ස්ටාර් ක්‍රීඩා සංගමයේ ආරාධනයකට අනුව එරට සංචාරයක නිතරවී තිබේ. ඒ එම ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර තිබූ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක ප්‍රධාන ආරාධිතයා වශයෙනි. ඔහුට පෙර ජොන්ටි රෝඩ්ස්, ඉන්දීය නායකයකු වූ ජී.එස්.රාමචන්ද්‍රන්, ඩේවිඩ් ගවර් වැන්නවුන් එරට සංචාරය කර තිබේ.

මාතෘකා