හේරත්ගෙන් ප්‍රවේශම් විය යුතුයි

 ඡායාරූපය:

හේරත්ගෙන් ප්‍රවේශම් විය යුතුයි

නික් පොතාස්ගෙන් අනතුරු හැඟවීමක්

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේදී රංගන හේරත්ගේ පන්දුවලින් විශේෂයෙන් ආරක්ෂාවීමට දකුණු අප්‍රිකානු පිතිකරුවන් කටයුතු කළ යුතු බව එරට හිටපු කඩුලු රකින්නකු හා වර්තාමනයේ ක්‍රිකට් පුහුණුකරුවකු වන නික් පොතාස් පවසා තිබේ. විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ ටෙස්ට් තරගාවලියේදී වැඩිම බලපෑමක් සිදුකළ හැක්කේ ශ්‍රී ලංකා දඟ පන්දුයවන්නන් බවයි.

‘වේග පන්දුයවන්නන්ට වඩා දඟ පන්දුයවන්නන්ට හිතකර තණතීරු ඔවුන් සකසාවි. විශේෂයෙන්ම හැකිතාක් පැතලි තණතීරු ඔවුන් ලබාදීම අපි අපේක්ෂා කරන්න අවශ්‍යයි. දැන් ඔබ දකුණු අප්‍රිකාවට ගියොත් වැඩිපුරම දකින්නෙ වේගවත් තණතීරුයි. පන්දුව ඉලිප්පෙන තණතීරුයි. නමුත් පළමු ටෙස්ට් තරගය තියන ගාල්ල තණතීරුව ගත්තොත් දඟ පන්දුවට වඩාත් වාසිදායකයි. විශේෂයෙන්ම රංගන හේරත්ට වාසි දායකයි. ඒ නිසා ඔහුගෙන් ප්‍ර වේශම් වෙන්න දකුණු අප්‍රිකානු පිතිකරුවන් සැලකිලමත්වීම වැදගත්’ යැයි ප්‍රකාශ කර ඇත.

වැඩිදුරටත් කරුණු දක්වා ඇති හිටපු ශ්‍රී ලංකා අන්තර් මධ්‍ය පුහුණුකරුවා ප්‍රකාශ කර ඇත්තේ, ‘මම විශ්වාස කරන්නෙ මේ රංගනගේ ටෙස්ට් ක්‍රිකට් ජීවිතයේ අවසන් කාලය කියලයි. ඇතැම් විට ඔහු තමන්ගෙ රටේ ක්‍රීඩා කරන අන්තිම තරග කීපය. ඉතින් ඒ නිසා ඔහුට වඩාත් උචිත තණතීරු සකසන්න ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කරන එක ස්වාභාවිකයි. අනෙක ඔබ මතක තබාගත යුතු තවත් කාරණයක් තිබෙනවා. ඒ තමයි රංගන කියන්නේ ලෝකයේ සිටින හා බිහිවුණු හොඳම වමත් දඟ පන්දුයවන්නෙක් කියන කාරණය’ යනුවෙන්ද පවසා ඇත.

හිටපු අන්තර්වාර පුහුණුකරුවා පෙන්වා දෙන්නේ, ලෝකයේ කවර රටක සංචාරය කළද තමන් සතු උපරිම ශක්තිය යොදාගන්නට සත්කාරක රාජ්‍යය නිසැකවම කටයුතු කරන බවයි.

‘මම නැවත කියනවා, රංගන ගෙන් ප්‍රවේශම් වන්න. ඔහු කඩුල්ලෙන් කඩුල්ල පන්දුයවන ක්‍රීඩකයෙක්. අනෙක ඔහු පන්දුයවන විට ලකුණු පුවරුවත් ගමන් කරන්නෙ සෙමින්. ඔහු කඩුලු ලබාගන්නෙ ක්‍රම තුනකට. එක් ක්‍රමයක් තමයි පන්දුව දඟ කවා කඩුලු ලබාගැනීම. අනෙක් ක්‍රමය තමයි දඟ කැවෙන්නට නොදී කඩුලු දවාගැනීම. ඔහු තමයි දකුණු අප්‍රිකාව සතු ප්‍රධාන අභියෝගය’ යැයිද ප්‍රකාශ කර ඇත.

මේ වනවිට ටෙස්ට් තරග 90කට ක්‍රීඩා කර ඇති රංගන හේරත‍් එහිදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 418කි.

රංගන හා කුසල්ගේ යෝග්‍යතාව පරීක්ෂා කිරීම අද

මේ අතර දකුණු අප්‍රිකාව සමඟ අනිද්දා ආරම්භවන පළමු ටෙස්ට් තරගය සඳහා රංගන හේරත්ගේ හා කුසල් ජනිත් පෙරේරාගේ යෝග්‍යතාව අද පරීක්ෂාවට ලක්කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ මෙම පරීක්ෂණය මගින් දින පහක් තරග වැදීම සඳහා ඔවුන් ශාරීරික වශයෙන් යෝග්‍යද නැද්ද යන්න සම්බන්ධයෙන් සලකා බැලෙන බවයි.

පසුගියදා නිමාවූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී අවසන් ටෙස්ට් තරගයට පෙර පැවැති පුහුණුවීම්වලදී රංගන හේරත්ගේ ඇඟිල්ලක පන්දුවක් වැදීමත් සමඟ ඔහු ආබාධයකට ලක්වූ අතර කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්වූයේ පන්දු රැකීමට යාමේදී සිරුරේ සමතුලිතභාවය බිඳී ප්‍රදර්ශන පුවරුවක් මතට ඇදවැටීමෙනි. එහිදී ඔහුගේ උදරයේ හා පපු පෙදෙසේ මාංශ පේශිවලට බලපෑමක් සිදුව තිබූ නමුත් පසුව කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ සිරුරේ කිසිදු අවයවයකට බලපෑමක් සිදුව නොමැති බවයි.

මාතෘකා