ප්‍රංශ-බෙල්ජියම් අවසන් පූර්ව තරගය අද

 ඡායාරූපය:

ප්‍රංශ-බෙල්ජියම් අවසන් පූර්ව තරගය අද

විසි එක්වැනි ලෝක ශූරතා පාපන්දු තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ප්‍රංශය සහ බෙල්ජියම අතර අද රාත්‍රියේ පැවැත්වේ. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.30 ට තරගය ආරම්භ වීමට නියමිත අතර තරගය පැවැත්වෙන්නේ නරඹන්නන් හැට හතර දහසකට එකවර තරගය නැරඹිය හැකි සාන්ත පීටර්ස්බර්ග් ක්‍රීඩාංගණයේදී ය.

මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4ම යුරෝපා කණ්ඩායම් වූ බැවින් දැනටමත් යුරෝපය පාපන්දු කිරුළ හිමිකර ගෙන අවසන්ය. එයින්ද අවසන් ශූරයා ජය ලබන තුරු යුරෝපා පාපන්දු ලෝලීහූ බලා සිටිති. මේ අතරට මීට පෙර ලෝක ශූරතා දිනූ පාපන්දු කණ්ඩායම් දෙකක් එම රටවල 4ට අයත්වීම තරගාවලිය තවත් උණුසුම් කිරීමට හේතු වී ඇත.

පළමු අවසන් පූර්ව තරගයේදී නරඹන්නන් ගේ විශ්වාසය අනුව ඉදිරියෙන්ම සිටින්නේ ප්‍රංශයයි. ඔවුන් ජයගන්නා බවට ඇති විශ්වාසය 38%කි. බෙල්ජියම ජය ගන්නා බවට 32%ක් විශ්වාස කරයි. තරගාවලිය ආරම්භ කිරීමට පෙර ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් වලට අනුව ප්‍රංශය 7 වැනි ස්ථානයේ පසුවූ අතර බෙල්ජියම එහි 3 වැනි ස්ථානයේ සිටි කණ්ඩායමයි. ප්‍රංශය අවසන් පූර්ව තරගයකට මුහුණ දෙන්නේ හයවැනි වතාවට වන අතර බෙල්ජියම අවසන් පූර්ව තරගයකට මුහුණ දෙන දෙවැනි අවස්ථාව මෙයයි.

ඔට්ටු තැබීම් අනුව මෙම තරගයේ ප්‍රංශය ජය ගැනීමේ සම්භාවිතාවය 4/3 කි. බෙල්ජියමට 11/10, කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් අතිරේක කාලයේදී ජය ලැබීමේ සම්භාවිතාවය 5/1කි. දඬුවම් පහරවලින් බෙල්ජියමට ජය ලැබීමේ හැකියාව 9/1ක් ලෙස ප්‍රකාශිතය.

කණ්ඩායම් දෙක අතර මේ දක්වා තරග 73ක් පවත්වා ඇති අතර ඉන් තරග 30ක ජය හිමිව ඇත්තේ බෙල්ජියමටය. ප්‍රංශය ජය ගැනීමට සමත්ව ඇත්තේ තරග 24ක් පමණි. තරග 19ක් ජය පැරදුමකින් තොරව කෙළවරවී ඇත.

කණ්ඩායම් දෙක අවසන් වරට ලෝක ශූරතා තරගාවලියකදී මුණ ගැසී ඇත්තේ 1986 තරගාවලියේ තුන්වැනි ස්ථානය සඳහා පැවති තරගයේදීය. ගෝල් 4-2ක් ලෙස එහි ජය හිමිවූයේ ප්‍රංශයටය. එයට පෙර 1938 තරගාවලියේ පළමු වටයේ තරගයකදී මෙම දෙරට හමුවූ අවස්ථාවේදීද ප්‍රංශය ගෝල් 3-1ක් ලෙස තරගය ජය ගැනීමට සමත් විය.

ප්‍රංශ පුහුණුකරු ඩිඩියේ ඩෙස්චෑම්ප් පවසන්නේ තම කණ්ඩායම මෙම අවසන් පූර්ව තරගයෙන් ජය ලැබීම අනිවාර්යය බවයි. බෙලිජියම හොඳ කණ්ඩායමක් වුවුද ජය හිමිවන්නේ තම කණ්ඩායමට බව ඩෙස්චෑම්ප් ප්‍රකාශකර ඇත. බෙල්ජියම් පුහුණුකරු වන හිටපු සුපිරි ප්‍රංශ ක්‍රීඩක තියෙරි හෙන්රි තම රටට එරෙහිව බෙල්ජියම ජයග්‍රහණය කරා මෙහෙයවීමේ අසීරු මංසන්ධියකට පැමිණ සිටී. දැනටමත් ප්‍රංශය තුළින් හෙන්රිගේ රැකියාව සම්බන්ධයෙන් එරට පාපන්දු ප්‍රේක්ෂකයන් තුළ අප්‍රසාදය පළ වෙමින් තිබේ.

අද තරගය ප්‍රංශය ජයගතහොත් තුන් වැනි වතාවට අවසන් තරගයකට සුදුසුකම් ලැබීමේ හැකියාව ප්‍රංශ කණ්ඩායම සතුය. මෙයට පෙර ලෝක කුසලාන අවසන් තරග තුනකට ක්‍රීඩාකර ඇති සෙසු රටවල් වනුයේ, බ්‍රසීලය, ආර්ජන්ටිනාව, ජර්මනිය, ඉතාලිය සහ නෙදර්ලන්තයය. බෙල්ජියම අවසන් පූර්ව තරගය ජය ගතහොත් පළමු වතාවට අවසන් තරගයකට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ඔවුන්ට හිමිවනු ඇත. එසේම අවසන් තරගයකට සුදුසුකම් ලැබූ 13 වැනි රට බවටද බෙල්ජියම පත්වනු නොඅනුමානය.

මේවන විටත් තරගාවලියේදී ගෝල 3 බැගින් ලබා සිටින ඇන්තනි ග්‍රීස්මාන් සහ කිලියන් ම්බාප්පෙ කෙරෙහි ප්‍රංශය වැඩි බරක් තබා තිබේ. එසේම බෙන්ජමින් පවාර්ඩ්, රෆායෙල් වරානේ ද ප්‍රංශය අවසන් තරගය කරා කැඳවාගෙන යාමට සිටින පෙරගමන්කරුවන්ය.

දැනටමත් තරගාවලියේ ගෝල 4ක් ලබා සිටින රොමෙලු ලුකාකු බෙල්ජියමේ ප්‍රධාන බලාපොරොත්තුව වී ඇත. තරගාවලියට පෙර සිටම බෙල්ජියානුවන්ගේ විශ්වාසය දිනූ කෙවින් ඩි බ්රෑනේ මෙන්ම ඒඩ්න් හසාර්ඩ් අවසන් තරග වලදී ඔවුන්ගේ රිදිමයට පැමිණීම බෙල්ජියමට ආශ්වාදයකි. ඩ්‍රෙස් මාටිනෙස් සහ නසීර් චැඩ්ලි ද පළමු වතාවට ලෝක පාපන්දු ශූරතා අවසන් තරගයකට බෙල්ජියම ගෙනයාමට සූදානම්වන ප්‍රධානම බෙල්ජියම් ක්‍රීඩකයින් දෙපලකි.

අද තරග වැදිය හැකි බවට අනුමාන කරන කණ්ඩායම් දෙක

ප්‍රංශය

ලියොරිස්, පවාර්ඩ්, වැරානේ, උම්ටිටි, ෆර්නැන්ඩස්, කාන්ටේ, පොග්බා, ම්බාප්පෙ, ග්‍රීස්මාන්, මටුයිඩි සහ ගිරොවුඩ්

බෙල්ජියම

කෝටොයිස්, ඇලඩර්වෙයාරෙල්ඩ්, කොම්පැනි, වර්ටොන්ගෙන්, චැඩ්ලි, විට්සෙල්, ෆෙල්ලයිනි, කැරැස්කෝ, ඩි බ්රෑනේ, හසාර්ඩ් සහ ලුකාකු

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා