ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමේ ෆින්ලන්ත සංචාරය ජූලි 10 වැනිදා

 ඡායාරූපය:

ශ්‍රී ලංකා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමේ ෆින්ලන්ත සංචාරය ජූලි 10 වැනිදා

ෆින්ලන්තයේ ටැම්පරේ නුවර පැවැත්වෙන අවුරුදු 20න් පහළ ලෝක යොවුන් ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පිටත්ව ගියේය. ක්‍රීඩක, ක්‍රීඩිකාවන් 11 දෙනෙකුගෙන් හා නිලධාරීන් සය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකට ඒ සඳහා අමාත්‍ය අනුමැතිය හිමිව තිබිණි.පුහුණුකරුවන් සිව්දෙනෙකුට හා යොවුන් මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු වශයෙන් ජී.එල්.එස්. පෙරේරා මහතාට ඒ සඳහා අනුමැතිය ලබාදී ඇති අතර කාන්තා කණ්ඩායම් භාර නිලධාරිනිය වශයෙන් සුනේත්‍රා කරුණානායකද සංචාරයට එක්ව සිටී.

 ෆින්ලන්තයේ හෙල්සින්කි බලා ඊයේ පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම හෙට සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන යොවුන් ජගත් මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය වෙනුවෙන් තරග වැදීමට නියමිතය. මෙවර තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නායකත්වය ආසියානු රන්පදක්කම් ලාභී එස්.අරුණ දර්ශනට හිමිව තිබේ. මීට පෙර ආසියානු කාලපයේ පැවැති මලල ක්‍රීඩා ශූරතාවයේ ද්විත්ව රන්පදක්කම් ලාභියකු වන අරුණ දර්ශන අකුරම්බොඩ වීරකැප්පෙටිපොළ විද්‍යාලයේ ශිෂ්‍යයෙකි. බාලක කණ්ඩායම සඳහා ක්‍රීඩකයන් පස්දෙනෙකු සංචාරයට එක්වූ අතර බාලිකා කණ්ඩායමට නම්කර ඇති ක්‍රීඩිකාවන් සංඛ්‍යාව හයකි. ඔවුන් බාලක මීටර් 400, 400 සහය දිවීම සඳහා තරග වැදීමට නියමිතව ඇති අතර බාලිකා මීටර් 100, 800, මීටර් 3000 බාධක දිවීම හා මීටර් 400 සහය දිවීමේ ඉසව් නියෝජනය කරනු ඇත.

සංචාරයට එක්ව සිටින කණ්ඩායම මෙසේයි. බාලක කණ්ඩායම -අරුණ දර්ශන, පී.එම්.පී.එල්.කොඩිකාර, කේ.පී.ටී.රවිශ්ක ඉන්ද්‍රජිත්, පී.ඩී.ඩී.කේ. පබසර නිකූ, ඩී.එම්.එච්.එස්.කරුණාරත්න. බාලිකා කණ්ඩායම - ඩී.ටී.අමාෂා ද සිල්වා, කේ.පී.ඩී.එස්.කුමාරසිංහ, කේ.සචිනි තාරකා දිව්‍යාංජලී, රොමේෂි ඉෂාරා අත්තිඩිය, යූ.කේ.සඳුමිණි සී.පී.බණ්ඩාර, කේ.පාරමී වසන්ති මාරිස්ටෙලා. නිලධාරීන් කණ්ඩායම - ජී.එල්.එස්.පෙරේරා -කළමනාකරු, සුනේත්‍රා කරුණානායක (කාන්තා භාර නිලධාරිනී), ආර්.ඩබ්ලිව්.එම්. ඒ. එච්. බණ්ඩාර ( පුහුණුකරු), පී.ඩී.ජී.එන්. ජයසිංහ ( පුහුණුකරු) , වයි.එම්.එන්.කේ.ඩී.බණ්ඩාර ( පුහුණුකරු),එන්.පී. ද සිල්වා ( පුහුණුකරු)

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා