දින හතළිස් දෙකක සංචාරයකට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

 ඡායාරූපය:

දින හතළිස් දෙකක සංචාරයකට දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ටෙස්ට් තරග දෙකකට, එක්දින තරග පහකට හා පන්දුවාර විස්සයි විස්ස තරග දෙකකට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ඊ.කේ. 654 අංක දරණ ගුවන් යානයෙන් ඊයේ දිවයිනට ළඟාවුණේය. පස්වරු හතරයි දහයට අදාළ යානයෙන් ඔවුන් මෙරටට ළඟාවුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ඉන්දියාවේදී විශේෂ පුහුණු සැසියක් සඳහා සහභාගිවූ දකුණු අප්‍රිකානු කණ්ඩායම එහිදී සිය පිතිකරුවන්ට දඟ පන්දුයවන්නන්ට මුහුණදීම සඳහාපුහුණුවක් හා අවබෝධයක් ලබාදී තිබේ. තම කණ්ඩායම සතු ප්‍රධාන දඟපන්දුයවන්නා නොමැතිව මෙම සංචාරය සඳහා එක්ව සිටින ඔවුන් ඒ සඳහා සිය තරුණ දඟපන්දුයවන්නන්ගේ සහයෝගය ලබාගැනීමට අපේක්ෂා කරන බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ෆැෆ් ඩු ප්ලෙසිස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන දකුණු අප්‍රිකානු කණ්ඩායම සහභාගිවන පළමු තරගය සඳහා ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ජූලි 20 වැනිදා සිට 24 වැනිදා දක්වාය.

එක්දින තරගාවලියේ මුල් තරග දෙක දඹුල්ල ක්‍රීඩාංගණයේත්, දෙවැනි තරග දෙක පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිත අතර අවසන් එක්දින තරගය පැවැත්වෙන් කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීය. පන්දුවාර විස්සයි විස්ස තරගය කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදීම පැවැත්වීමට යෝජිතය.

ඡායා [කුමාරසිරි ප්‍රසාද්] ගුවන්තොටුපොළ වාර්තාකරු

මාතෘකා