බාධා මැද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ටෙහෙරානයට

 ඡායාරූපය:

බාධා මැද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ටෙහෙරානයට

ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ ඉරානයේ ටෙෙහරාන් නුවර බලා පිටත්ව ගියේය. පෙරේදා රාත්‍රියේ ටෙෙහරාන් නගරය වෙත පිටත්ව යාමට නියමිතව තිබූ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් පස් දෙනෙකුගෙන් සමත්විත මෙම කණ්ඩායමට ගුවන් ප්‍රවේශපත්‍ර සඳහා වන දැනුම් දීම් ගුවන් සමාගමට සිදුකර නොතිබුණු හෙයින් ආපසු හැරී ඒමට සිදුවිය. ඒ අනුව එම ක්‍රීඩක, ක්‍රීිඩිකාවන්ට නවාතැන් පහසුකම් සපයා දීමට මලල ක්‍රීඩා සංගමය කටයුතු කර තිබූ නමුත් ඔවුන් තමන්ගේ නිවාස වෙත හැරී ගොස් ඊයේ දිනයේදී යළි කටුනායකට පැමිණ ගුවන්ගතවූ බව ‘රැස’ට වාර්තා විය. එම කණ්ඩායමේ එක් ක්‍රීඩිකාවක් අප හා පැවසූයේ අදාළ සිදුවීමෙන් අනතුරුව හෝටලයක නවතැන් පහසුකම් සැපයීමට මලල ක්‍රීඩා සංගමය කටයුතු කළද ගුවන්තොටුපළට ආසන්නයේ තමන්ගේ නිවාස පිහිටා ඇති බැවින් ආපසු හැරී යාමට කටයුතු කළ බවයි.

‘අපිට ගෙවල් වලට යන්න පුළුවන් නිසා අපි ගෙදර ගියා. එහෙම නැති අයගෙ ළඟම ඥාතීන්ගේ ගෙවල් වලට ගියා. ඒ නිසා හෝටලයක නවතින්න උවමනා වුණේ නෑ. ප්‍රශ්නය ඇතිවුණේ ගුවන් ප්‍ර වේශපත්‍ර මිලදී ගත් සමාගම ඒවා තහවුරු කරන්න කටයුතු කර නොතිබූ නිසයි.’ යැයි පැවසීය.

මෙම ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ගයන්තිකා අබේරත්න, නිමාලි ලියනාරච්චි, පබෝදා බාලසූරිය, උපමාලිකා රත්න කුමාරි හා බී.ඒ.ජී.ජේ. පී. විමලසිරි යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළත්වේ. ඔවුන් පිළිවෙලින් මීටර් 800, තුන් පිම්ම, මීටර් 400, හා දුර පැනීමේ තරග ඉසව් නියෝජනය කිරීමට නියමිතව තිබේ. සියලු තරග 1 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති බැවින් ඊයේ රාත්‍රියේ ටෙ‍ෙහරානයට පැමිණීමෙන් අනතුරුව ඔවුන් හෙට දිනයේ තරග සඳහා සහභාගිවිය යුතුව ඇතැයි මළල ක්‍රීඩා සංගම් ප්‍රකාශයෙක් පැවසීය. එම තත්ත්වය මූලික වටයේ සුදුසුකම් ලැබීමේ තරග සඳහා යම් ආකාරයකින් බලපෑම් කිරීමට හැකි බවද ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් අවසන් වරට පැවැති මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට කිසිදු පදක්කමක් හිමිනොවූ අතර එම තරගාවලියට පිරිමි මීටර් 400 සහය දිවීමේ කණ්ඩායම් මෙන්ම කාන්තා මීටර් 100 හා 400 සහය දිවීමේ කණ්ඩායම්ද  තරග වැදිණි. මෙවර තරගාවලිය සඳහා කිසිදු සහය දිවීමේ කණ්ඩායමක් ඉදිරිපත් කර නොමැති අතර ඒකල ඉසව් සඳහා පමණක් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් එක්කර තිබේ.

කෙසේ නමුත් මෙම ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේදී අදාළ සමාගමෙන් විසින් සිදුවූ අතපසුවීම සම්බන්ධයෙන් විධිමත්ව කටයුතු කිරීමට බලධාරීන් ක්‍රියාකළ යුතු බව ක්‍රීඩා විචාරකයන්ගේ මතයවී තිබේ. මෙයට පෙරද අදාළ ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ආයතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ අතර ක්‍රීඩකයන්ගේ පහසුව නොසලකා ලාභය පරමාර්ථ කරගනිමින් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් වැඩිදෙනෙකු ගුවන් තොටුපළවල ගත කළ යුතු ආකාරයට ගුවන් ප්‍ර වේශ පත්‍ර නිකුත් කරන්නට කටයුතු කරන බවටද චෝදනා එල්ල විය. උදාහරණයක් වශයෙන් ඇතැම් ක්‍රීඩකයන් පැවසූයේ පසුගිය වසරේ ආසියානු ශූරතා මලල ක්‍රීඩා උළෙල සඳහා ඉන්දියාවේ බුබනේෂ්වර් බලා යාම සඳහා ඉන්දීය ගුවන් සේවයේ සේවාව ලබාගෙන තිබූ නමුත් එහි ළඟාවීමට වඩාත් කාර්යක්ෂ්ම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවය සපුරාගැනීමට අවස්ථාව හිමිව තිබූ බවය. එහිදී නවදිල්ලිය දක්වා පියාසර කිරීම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඔස්සේ සිදුකර බුබනේෂ්වර් වෙත ඉන්දියානු හෝ වෙනයම් ගුවන් සේවයක සහය ලබාගත හැකිව තිබූ නමුත් අදාළ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන සමාගම ඉන්දියානු ජාතික සේවයෙන් එම ප්‍රවේශපත්‍ර මිලට ගෙන තිබුණේ වැඩි කොමිස් මුදල් හේතුවෙන් බව පැවසුණේය. මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අවධානයට යොමුකිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද ක්‍රීඩා ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝදෙනෙක් රැසට පැවසූහ. එලෙස පැමිණිලි කිරීම සිදුකරනුයේ අදාළ ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත් කරන සමාගමේ ඉදිරි කටයුතු හෝ නිවැරදි මාර්ගයකට ගැනීම දීර්ඝ කාලීනව ප්‍රතිඵල දායක වන හෙයින් බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.