වසර දෙකකට පසු ශ්‍රී ලංකාවට ශූරතාවක් | ඇස පාදන රැස


වසර දෙකකට පසු ශ්‍රී ලංකාවට ශූරතාවක්

 ඡායාරූපය:  AFP

වසර දෙකකට පසු ශ්‍රී ලංකාවට ශූරතාවක්

එක්දින ඉතිහාසයේ වාර්තාවුණු 44 වැනි කඩුලු ත්‍රිත්වය ජාත්‍යන්තර තරග වරම් හිමිකරගත් ෂෙහාන් මධුසංඛට හිමිකරදෙමින් වසර දෙකකට පසු දිනාගත් පළමු තුන් කොන් ක්‍රිකට් කුසාලනය පසුගිය සෙනසුරාදා හිමිකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සමත් වූයේය. ඒ මිර්පූර් හි ජාතික ක්‍රීඩාංගණයේදී බංග්ලාදේශය සමග පැවැති අවසන් තරගයෙන් ලකුණු 79ක පහසු ජයක් අත්කරගනිමිනි. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්  ධනුෂ්ක ගුණතිලක හා උපුල් තරංග පිටියට පිවිසි අතර  තරගය ආරම්භ කරමින් පන්දුයැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මෙහෙදි හසන් මිරාෂ්ගේ සේවය සලසා ගැනීමට බංග්ලාදේශ නායකත්වය තීරණය කර තිබුණේය. පළමු පන්දුවටම හතරේ පහරකින් සංග්‍රහ කරමින් ශ්‍රී ලංකා ඉනිම විශ්වාසයෙන් ආරම්භ කළ නමුත් ධනුෂ්ක ගුණතිලකගේ කඩුල්ල තෙවැනි පන්දුවාරයේදී දවා ගැනීමට මිරාෂ්ම සමත්විය. එය ශ්‍රී ලංකා පිල තරගාවලිය තුළ වර්ධනය කරගැනීමට අපේක්ෂා කළ විශ්වසනීයත්වය තවමත් පහරවල් තෝරාගැනීමේදී ගොඩනංවා ගත යුතු බව පෙන්වා දෙමින් ගුණතිලකගේ කඩුල්ල මුළු ලකුණු 8 දී දැවී ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්ගෙන් නායක මෂ්රෆ් මොර්ටාසා යැවූ හතරවැනි පන්දුවාරයේ පළමු පන්දුවට හතරේ පහරක් එල්ල කෙරිණි. පස්වැනි පන්දුවාරයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු තවදුරටත් ඉහළ නංවමින් මිර්සාට හයක්, හතරක්, හයක් හා හයක් වශයෙන් දැඩි ප්‍රහාරයක් එල්ල කළේය. බංග්ලාදේශ නායකයාගේ ඊළඟ පන්දුවාරයේ අවසන් පන්දුවට තරමක් කලබලකාරී පහරක් එල්ල කිරීමට ගොස් වර්ණවත් ඉනිමක් ගොඩනැංවීමට තිබූ අවස්ථාව ඔහු විසින් වළකා ගත්තේ දෙවැනි කඩුල්ලත් ශ්‍රී ලංකා පිලට අහිමි කරමිනි.

ඉන්පසු පිටියට පිවිසියේ නිරෝෂන් දික්වැල්ලයි. ඔහුගේ වෙනදා දැකිය හැකි කලබලකාරී තත්ත්වයට වඩා ඉවසුම් සහගත බවක් දක්නට ලැබුණු අතර ඔහු හා තරංග එක්ව බිඳ වැටෙන ලකුණු පෙන්වූ ශ්‍රී ලංකා ඉනිම මුළු ලකුණු 113 දක්වා රැගෙන ගියහ. දික්වැල්ල ලකුණු 42කට දැවී යද්දී පන්දුවාර 23.5ක් යවා අවසන්ව තිබිණි. ලකුණු 150 දක්වා වත් මෙම කඩුල්ලේ සබඳතාවය පවතියැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කළද එය එලෙසින්ම ඉටුවුණේ නැත. ඉන් අනතුරුව උපුල් තරංගද ලකුණු 56කට දැවී ගියේය.

දිනේෂ් චන්දිමාල් නායකයකු වශයෙන් ස්ථාවර ක්‍රීඩා රටාවක නිරතවන බවට ප්‍රත්‍යක්ෂ කරමින් හා තමන්ට නායකයකු වශයෙන් තව බොහෝ දුර ගමන් කළ හැකි බව ප්‍රදර්ශනය කරමින් එක් අන්තයක් ආරක්ෂා කරමින් ක්‍රීඩා කළ අතර 36 වැනි පන්දුවාරයේ සිට ඔහු 48 වැනි පන්දුවාරය දක්වා කාලය තුළ කඩුල්ලේ රැඳී සිටීමට සමත්විණි. ඔහු ලකුණු 45කට දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව කියැවුණේ 209ක් ලෙසය. සාමාන්‍ය යෙන් ලකුණු 200 සීමාවට පැමිණීම මෙම තණතීරුවේ ජයග්‍රාහී ඉම සොයා ගැනීමක් ලෙස සැලකුණු අතර ඒ අනුව බලන කල ජයග්‍රාහී සීමාව කරා ශ්‍රී ලංකා ලකුණු පුවරුව මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා නායකයා විසින් අතහැර නොතිබිණි. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිම සඳහා අත්‍යවශ්‍ය සැනසිලි ලකුණු එක්කිරීමේ වගකීම අකිල ධනංජය තමන් වෙත පවරාගෙන තිබුණේය. ඔහු ලකුණු 17කට දැවී ගියේය. මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ෂෙහාන් මධුසංඛ ලකුණු 7ක් ලකුණු පුවරුවට එක්කළේය. මේ අතර වාරය තුළ බංග්ලාදේශ කණ්ඩායමේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සැලකෙන සකීබ් අල් හසන් පන්දු රැකීමට ගොස් ආබාධයකට ලක්වූ අතර ඔහු වැඩිදුර පරීක්ෂණයක් සඳහා රෝහල් ගත කළ අතර අවසානයේ ඔහුගේ සුළැඟිල්ල බිඳීගොස් තිබූ හෙයින් අවසන් තරගයේ පිතිකරුවෙකු වශයෙන් සේවය අහිමි වී ගියේය. ඉදිරිපෙළ පිතිකරුවකුගේ සේවය නොමැතිව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම තම ප්‍රේක්ෂකයන් හමුවේ පහසුවෙන් ලකුණු 222 ක් වූ ජයග්‍රාහී ඉලක්කය පසුකරයාවියැයි මිර්පූර්හි ජාතික ක්‍රීඩාංගණයට රැස්වූ විසි පන්දහසක් පමණ වන ක්‍රීඩාලෝලීන්ගේ අපේක්ෂාව විය. එහෙත් ඔවුන්ගේ හොඳම පිතිකරුවා වූ ෂකීබ් අල් හසන්ගේ කඩුල්ල දවාගනිමින් පීඩනය බංග්ලාදේශය වෙතම දමාගැසීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්විය. දුෂ්මන්ත් චමීරගේ පන්දුවකින් ෂකීබ් අල් හසන් ගේ කඩුල්ල දැවී යනවිට බංග්ලාදේශ ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 11ක් ලෙසය. එය විශාල ප්‍රහාරයක් වූයේ ඒ වනවිට ශකීබ් අල් හසන් නොමැතිව ලකුණු 222ක ඉලක්කය හඹායායුතුව තිබූ හෙයිනි. ඉන් අනතුරුව මොහොමඩ් මිතුන් දුවද්දි දැවීයාමකට ලක්කරගැනීමට තිසර පෙරේරාගේ විශිෂ්ට පන්දුරැකීම සමත්වූ අතර එම දැවියාම ශ්‍රී ලංකාව තරගය තුළට කැඳවාගෙන ඒම තවදුරටත් ස්ථාවර කිරීමක් විය. අවසානයේ මහමදුල්ලා හා මුෂ්ෆිකර් රහීම් වේගයෙන් කඩුලු දැවීයාම නවත්වාගැනීමේ උත්සහයක නිරතවූ නමුත් එය මුළු ලකුණු 80ක් ලකුණු පුවරුවට එක්වීමෙන් අනතුරුව පවත්වාගෙන යාමට හැකියාවක් උදානොවුණේය. සිය මංගල ජාත්‍යන්තර එක්දින තරගයට ක්‍රීඩා කළ ෂෙහාන් මධුසංඛ බංග්ලාදේශ ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ මහමදුල්ලාගේ කඩුල්ල සමගින් පිට පිට තවත් කඩුලු දෙකක් දවා ගනිමින් මංගල තරගයේම ත්‍රිත්ව කඩලු ලාභියකු බවට පත්වීමට සමත්වීමද කැපී පෙනෙයි. පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් සොයාගත් මධුසංඛගේ එම දක්ෂතාවය හා සමවන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයන් තිදෙනෙකු පමණක් එක්දින ක්‍රිකට් ලෝකයේ වාර්තා වෙයි. බංග්ලාදේශයේ ටයිජුල් ඉස්ලාම්, දකුණු අප්‍රිකාවේ කගිසෝ රබාඩා හා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග මෙයට පෙර එම දස්කම දක්වා ඇති ක්‍රීඩකයින්ය. ඒ පිළිවෙලින් 2014, 2015,2017 වසරවල මෙම දක්ෂතා දක්වා තිබිණි. ටෙස්ට් තරග ඉතිහාසයේ මෙම දස්කම දක්වා ඇත්තේ පන්දුයවන්නන් තිදෙනෙකු පමණක් වන අතර මොරිස් ඇලම් (1930), පීටර් පෙතරික් (1976) හා ඩේමියන් ෆ්ලෙමිං(1994) එම දක්ෂතාවය දක්වා ඇත. ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අවසන් තරගයේ වීරයා සම්මානය උපුල් තරංගට හිමිවූ අතර තරගාවලියේ වීරයා සම්මානය හිමිවූයේ තිසර පෙර්රාටයි.