රග්බි පිටිය සති අන්තයේ උණුසුම් වන ලකුණු

 ඡායාරූපය:

රග්බි පිටිය සති අන්තයේ උණුසුම් වන ලකුණු

මේ සති අන්තය ආරම්භ වන්නේ අන්තර් සමාජ රග්බි තරගාවලියේ තවත් තියුණු තරග දෙකක් සමගිනි. ඒ අනුව හෙට මහනුවර සහ නාවික හමුදාව අතර තරගය වැලිසර නාවික හමුදා පිටියේ දී පැවැත්වෙන අතර හැව්ලොක්ස් සහ සී.ආර්. ඇන්ඩ් එෆ්. සී. අතර තරගය හැව්ලොක් පාර්ක් ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ. මෙම තරග දෙක පිළිබඳව සියලූ දෙනා බලා සිටින්නේ මහනුවර පිලට යම් තර්ජනයක් එල්ල කළ හැකි කණ්ඩායම් අතරින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් ලෙස නාවික හමුදා පිල සැලෙකන බැවිනි. තරගාවලියේ පළමු ස්ථානය ලබා ගැනීම සඳහා මහනුවර පිල අභිබවා යෑමට වෙනත් කණ්ඩායමකට අවස්ථාවක් නොමැති තරම් වුවද ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය ලබා සිටින නාවික හමුදා කණ්ඩායම එය තහවුරු කර ගැනීමටත් මහනුවර අභිමානය බිඳ දැමීම සඳහාත් මෙම තරගය ජය ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරනු නිසැකය.

එසේම ප්‍රසාද ලකුණු සටහනේ එක ලකුණකින් නාවික හමුදාවට පසු පසින් සිටින හැව්ලොක්ස් කණ්ඩායම තම ක්‍රීඩාංගනයේ තරගවැදීමේ වාසියද ලබා ගෙන සී.ආර්. කණ්ඩායම පරාජය කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම සති අන්තයේ දී කෙසේ හෝ නැවත ප්‍ර්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය ලබා ගැනීම වෙනුවෙනි. ඔවුන් එවැනි උත්සාහයක නිරත වන්නේ  ඉදිරියේ දී ඉතිරිව ඇති තරග දෙකම අභියෝගාත්මක තරගවන බැවිනැයිද පැවසීම සාධාරණය. ඒ  තරග දෙකේදී නාවික හමුදා සහ මහනුවර කණ්ඩායම් සමග තරග වැදීමට නියමිතව ඇත.

[ඩබ්ලිවි.ආර්. කුමාර]