ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක ගැටුම අද | ඇස පාදන රැස


ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක ගැටුම අද

 ඡායාරූපය:  Associated Press

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තීරණාත්මක ගැටුම අද

බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තීරණාත්මක තරගය අද ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඩකාහිදී පැවැත්වීමට නියමිතය. ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන සඳහා ශ්‍රේණිගතව සිටින කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයට පෙර පැවැත්වෙන එකම තරගය මෙයයි. මීට පෙර බංග්ලාදේශ පිල හා ශ්‍රී ලංකා පිල හමුවූ තරගයේදී ජයග්‍රහණය හිමිවුණේ බංග්ලාදේශ කණ්ඩායමට බැවින් ඔවුනට වැඩි වාසි හිමිව ඇත. සත්කාරකත්වයේ වාසියද සමග මෙම තරගයේදී වඩාත් විශ්වසනීයව බංග්ලාදේශ කණ්ඩායම තරග බිමට පිවිසෙන අතර ශ්‍රී ලංකාව තරග වදින්නේ තමන්ගේ දක්ෂතා ස්ථාවර කරගැනීමේ අරමුණු සහිතවය. මෙම තරගයට පෙර කණ්ඩායම් දෙකම අවසන් වරට මුණගැසුණේ සිම්බාබ්වේ කණ්ඩායම වන අතර එම අවස්ථා දෙකේදීම ඔවුන් සිබ්බාවේ පිල පරදා ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව මෙම තරගය සිම්බාබ්වේට එරෙහි ජයග්‍රාහකයන් දෙදෙනා අතරින් වඩා දක්ෂයා කවුරුන්ද යන්න තෝරාගැනීමට පැවැත්වෙන තරගයකි. එහිදී ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් ගත් කල හොඳම ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ සේවය අහිමිව අද තරගයට සහභාගිවීමද විශේෂත්වයකි. එහිදී පසුගිය තරග තුනේ වඩාත් විශ්වසනීය පිතිකරුවකු වූ කුසල් ජනිත් පෙරේරා මෙන්ම නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ද කණ්ඩායමෙන් විවේක ගෙන ඇත්තේ ආබාධ හේතුවෙනි. මේ අනුව අද තරගයට ක්‍රීඩා කරන්නේ හොඳම සොල්දාදුවන් දෙදෙනකුගේ සේවය අහමිවූ ඉදිරි පෙළ බල ඇණියක් සහිත කණ්ඩායමකි. එහෙත් ඒ වෙනුවට කණ්ඩායමට නම් කිරීමට නියමිතව ඇති ධනුෂ්ක ගුණතිලක හා ධනංජය ද සිල්වා සම්බන්ධයෙන්ද අවතක්සේරු කළ නොහැකිය. ඔවුන් දෙදෙනාම පිතිකරුවන් වශයෙන් ස්ථාවරත්වයක් සහිත ක්‍රීඩකයින් වන නමුත් වේගය සහ අවස්ථානුකූල භාවය අතින් ගත් කල වඩා සාර්ථක වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඇත්තේ ගැටලුවකි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවට එකී අඩුපාඩුවලින් තොරව තරග වැදීම සඳහා වඩා ශක්තිමත්ව බංග්ලාදේශ පන්දුයවන්නන්ට මුහුණදීමට සිදුව ඇති බව නම් පැවසිය යුතුය. එහිදී උපුල් තරංග ආරම්භක පිතිකරුවා වශයෙන් වැඩි වගකීමක් දරන්නට සිදුවනු ඇතැයි විශ්වාස කළ හැකිය. ඔහුට අමතරව කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල වැනි පිතිකරුවන් මෙන්ම තිසර පෙරේරා හා අසේල ගුණරත්න වැනි ක්‍රීඩකයින්ටද වගකීම් සහගත භාවය පිළිබඳ යළි සිතන්නට සිදුවනු ඇත. නිරෝෂන් දික්වැල්ල සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමය. නායක දිනේෂ් චන්දිමාල් දැන් දැන් තමන්ගේ තරගයක් ක්‍රියාත්මක කිරීමට උත්සහ ගන්නා හෙයින් එකී අර්බුදය සඳහා ඔහු කඩිනමින් පිළිතුරක් සපයා ගනු ඇතැයි විශ්වාස කළ හැකිය.

මේ අතර බංග්ලාදේශ පිතිකරුවන් අතරින් තමීම් ඉක්බාල් පැවැති තරග සියල්ලේදීම පාහේ ලකුණු රැස්කළ අතර ඔහුගේ වාසනාව අවසන් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සිතුවහොත් එයද වරදක් නොවේ. කොතරම් දක්ෂ ක්‍රීඩකයකුට වුවද වැරදිය හැකි සම්භාවිතාවක් තිබේ. බංග්ලාදේශ පිලේ තමීම්, සකීබ් අල්හසන් මෙන්ම මුෂ්ෆිකර් රහීම් ගැන වැඩි අවධානයක් යොමුකළ යුතුය. ඔවුන්ගේ කඩුලු බිඳ දමාගැනීමට ඇති හැකියාව මතත් ඔවුන්ගේ දක්ෂතම පන්දුයවන බල ඇණිය හමුවේ සාර්ථකවීම මතත් තරගය ශ්‍රී ලංකා පිල වෙත නතු කරගැනීමේ අවස්ථාවක් හිමිව ඇති බව පැවසිය යුතුය. එහිදී තණතීරුව අවබෝධ කරගනිමින් ක්‍රීඩා කළ යුත්තේ පසුවද එසේත් නැතහොත් පළමුවද යන්න නිවැරදිව තීරණය කරන්නට ද එහිදී වගබලාගත යුතුව ඇත. කෙසේ වෙතත් මෙම තරගයේදී හොඳ ලකුණු වේගයක් පවත්වාගෙන යන්නේ නම් ජයග්‍රහණය නොමැති වුවද ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ඇති හෙයින් හොඳ ලකුණු වේගයක් පවත්වාගෙන යාම අවශ්‍යතාවයකි. එහිදී තුන් ඉරියව් ශූර තිසර පෙරේරා මත ඇත්තේ ප්‍රබල වගකීමක් බවද අවසන් වශයෙන් පැවසිය යුතුය.