බංග්ලාදේශ සිම්බාබ්වේ තරගය අද | ඇස පාදන රැස


බංග්ලාදේශ සිම්බාබ්වේ තරගය අද

Brendan Taylor and Graeme Cremer run between the wickets  ඡායාරූපය:  Associated Press
.Brendan Taylor and Graeme Cremer run between the wickets
ඡායාරූපය: Associated Press

බංග්ලාදේශ සිම්බාබ්වේ තරගය අද

බංග්ලාදේශ තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන පස්වැනි තරගය අද මිර්පූර්හිදී පැවැත්වේ. මිර්පුර්හි ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් අතිශය වැදගත් තරගයක් ලෙස සැලකිය හැකිය. ඒ අද තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම පරාජය ලැබුවහොත් අවසන් මහා තරගය සඳහා පිවිසීමට ඇති මාර්ගය තවදුරටත් පුළුල් කරගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවන හෙයිනි. එහෙත් යම් හෙයකින් හෝ සිම්බාබ්වේ කණ්ඩායම ජයලැබුවහොත් බංග්ලාදේශය හා පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා පිලට තිරණාත්මකය. එය ජයගත යුත්තේ දළ ලකුණු වේගය ආරක්ෂා කරගනිමින් වන අතර බංග්ලාදේශයේදී බංග්ලාදේශයට එරෙහිව එම අභියෝගය බාරගැනීමට සිදුව තිබීම තවත් අසීරු කාරණයකි.   

අද තරගයේ කුමක් වෙයිද?  

මෙම තරගය බංග්ලාදේශ කණ්ඩායම පාර්ශ්වයෙන් ගෙදර ගියොත් අඹු නසී මග සිටියොත් තෝ නසී පන්නයේ තරගයක් ලෙස හැඳින්විය හැකිය. ඒ මන්දයත් තරගය පරාජය වී සිම්බාබ්වේ කණ්ඩායම අවසන් තරගයට කැඳවා ගැනීම බුද්ධිමත් යැයි සිතිය හැකි වීමය. එය අතීතයේදී නම් සත්‍යයක් වන්නට පුළුවන. නමුත් ග්‍රැහැම් ක්‍රීමර්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරන වත්මන් සිම්බාබ්වේ කණ්ඩායම දක්වන දක්ෂතා අවිශ්වසනීය වීම එය කවර පාර්ශ්වයකට කරකැවෙන තීරණයක් වෙත්දැයි බංග්ලාදේශ කණ්ඩායම සිතනවා විය හැකිය. අනෙක් අතට චන්දික හතුරුසිංහ නොමැතිව තරග වදින ඔවුන්ට මෙවර තරගාවලිය අපරාජිතව අවසන් කිරීමේ අවශ්‍යතාවද තිබේ. දකුණු අප්‍රිකානු සංචාරයේදී පරාජය ලැබීමේ වාඩුවද අමතක කළ යුතුව ඇත. ඒ සඳහා දේශීය තුන්කොන් තරගාවලිය කදිම වේදිකාවක් කරගත යුතුය. එනයින් බලන කල අවසන් තරගය දක්වා අපරාජිත කණ්ඩායම වශයෙන් පැමිණීම වැදගත්ය. මෙම පරිසරය තුළ බංග්ලාදේශය තරගය උවමනාවෙන් අතහරිතැයි සිතිය නොහැක.   

එහෙත් ශ්‍රී ලංකාව පෙරේදා සිම්බාබ්වේට එරෙහිව ලබාගත් සටන්කාමී ජයග්‍රහණය දෙස බලද්දී බංග්ලාදේශයේ සැලසුම් කවරාකාරයේදැයි සිතිය යුතුය. ඔවුන් දුර බලනවාද ළඟ බලන්නේද යන්න ඇතැම් විට අද පැවැත්වෙන තරගයේදී තීරණය කරනු ඇත. එය හතුරුසිංහගේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගිටීම අහම්බයක් ලෙසද ස්ථාවර නැගිටීමක පෙරමග ලකුණු ලෙසදැයි යන්න සිතා බලනවා වන්නට පුළුවන. එය අඛණ්ඩ නැගී සිටීමක ආරම්භක චලනය ලෙස සලකන්නේ නම් ඔවුන් නිසැකවම සිම්බාබ්වේ කණ්ඩායමට අනුකම්පා කරන්නට ඇති ඉඩකඩ වැඩිය. එසේ වූවත් නැතත් ශ්‍රී ලංකා කණ්ඩායම කළ යුත්තේ සහභාගි වන සියලු තරග මත සිය උපරිම හැකියාව බල පැවැත්වෙන පරිදි ක්‍රීඩා කිරීමය.   

මේ වන විට පවතින ලකුණු සටහනට අනුව ඉදිරියෙන්ම සිටින්නේ තරග දෙකකට පමණක් ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු දෙකද සමගින් සමස්ත ලකුණු 10ක් දිනාගෙන සිටින බංග්ලාදේශ කණ්ඩායමයි. ඔවුන් ජනවාරි 15 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායම සමග කඩුලු අටකින් ජයගත් අතර ශ්‍රී ලංකාව සමග ඉතිහාසයේ විශාලතම එක්දින ජය ලැබුවේ ලකුණු 163කිනි. එහිදී ඔවුන්ගේ දළ ලකුණු වේගය 2.985කි. මේ අතර අද තරගයට සහභාගි වන සිම්බාබ්වේ කණ්ඩායම තරග තුනකට ක්‍රීඩා කරමින් ප්‍රසාද ලකුණු හතරකට පමණක් හිමිකම් කියමින් දෙවැනි ස්ථානයේ පසුවෙයි. ඔවුන් ප්‍රසාද ලකුණු කිසිවක් දිනාගෙන නොමැති අතර සත්කාරක බංග්ලාදේශය සමග සහභාගි වූ පළමු තරගයෙන් පරාජය ලබා දෙවැනි තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව තියුණු ජයක් හිමිකරගත්තේය. තෙවැනි තරගය කඩුලු පහකින් ශ්‍රී ලංකාවට පරාජය වුණු ඔවුන් ඒ අනුව අද ‘ඩූ ඕර් ඩයි’ පන්නයේ තරගයකට අවතිර්ණ වීමට සූදානමින් සිටී. මියෙම්වා හෝ රැකෙම්වා යනුවෙන් තරග වැදීම හැර ඔවුන්ට වෙන උපක්‍රමයක් නැත. බංග්ලාදේශ කණ්ඩායමේ ඇතැම් පන්දුයවන්නන් අද තරගයේදී ඇතැම් විට විවේක ගැන්වීමට අවකාශයක් ඇතැයි විශ්වාස කළ හැක්කේ අවසන් තරගය සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් බලාපොරොත්තු තබා ඇති හෙයිනි. පිතිකරන අංශය පිළිබඳව වුවද එවැනි විවේකයක් අපේක්ෂා කරන්නට වුව ඉඩ ඇත. එහෙත් සිම්බාබ්වේ කණ්ඩායම බොහෝ විට විශාල වෙනස්කමින් තොරව අද තරගයට සටන් වදිනු ඇත. මේ වන විට ඔවුන්ගේ පන්දුයවන්නන් හොඳින් පන්දුයවමින් තිබීමත් ආරම්භයේ සිටම මුලින් පන්දු යැවීමට තමන් තීරණයකට එළැඹෙන බවට කරන ප්‍රකාශත් මෙහිදී සැලකිල්ලට ගත යුතුව තිබේ. ඒ සියලු දේ කෙසේ වෙතත් ශ්‍රී ලංකාව අභිබවා සිටීමට අද තරගයේදී ප්‍රසාද ලකුණු සමග ජයගැනීමට සිම්බාබ්වේ පිතිකරුවන් හා පන්දුයවන්නන් තීරණය කර තිබීම තීරණය කරනු ඇත්තේ කාසියේ වාසියේ ජයග්‍රහණයත් සමගිනි.