ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

Thisara Perera's triple-strike lifted Sri Lanka ඡායාරූපය:  Associated Press
.Thisara Perera's triple-strike lifted Sri Lanka
ඡායාරූපය: Associated Press

ශ්‍රී ලංකාවට කඩුලු 5ක ජයක්

තුන්කොන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ පළමු තරගය ලෙස ඊයේ ධකා හී පැවැති ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරගයෙන් කඩුලු පහක ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත්විය. එහිදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා අර්ධ ශතකය අභියස ලකුණු 49කට දැවී ගිය අතර ඔහු ලබාදුන් ශක්තිමත් ආරම්භය කණ්ඩායමේ ජයග්‍රහණයට ජීවය කැවීමක් විය. තරගය අතර මැදදී ශ්‍රී ලංකා පිතිකරුවන් කීපදෙනෙකු දවා ගනිමින් තරගයට අවතීර්ණවීමට සිම්බාබ්වේ කණ්ඩායම උත්සහ දැරූ නමුත් එය ව්‍යර්ථ කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්විය. ඒ අනුව තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් අපේක්ෂා තැබීමට මෙම තරගයත් සමගින් ශ්‍රී ලංකා පිල සමත්විය.  කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ නාකයකා තීරණය කළේ තණතීරුවේ දෙවැනි වර පන්දුවට පහරදීමේ අසීරුතාවන්ගෙන් තම කණ්ඩායම නිදහස් කරගැනීමේ අරමුණෙනි. එහෙයින් ආරම්භයේදීම වැඩි වාසියක් සහිතව තරගය නිම කරගැනීමේ අරමුණු සහිතව පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන්ට පහසුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාවක් ලබා නොදීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් උත්සුක විය. එහිදී චන්දික හතුරුසිංහගේ ගෙදර වැඩ හොඳින්ම උකහාගෙන සිටි ක්‍රීඩකයා වශයෙන් තරගාවලි දෙකකදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය දැරූ තිසර පෙරේරා යළිත් සාර්ථකත්වය සොයාගත්තේය. ඒ ප්‍රතිවාදී කඩුලු 4ක් දවාගනිමින් සිම්බාබ්වේ පිතිකරණ අපේක්ෂා බිඳ වට්ටමිනි. ප්‍රතිවාදී පිතිකරුවන්ට හිසරදයක් බවට පත්වෙමින් ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයට හරවා යැවූ තිසර අංක තුන වශයෙන් පිටියට පිවිසෙන ක්‍රීඩකයාවත් හැකි ඉක්මනින් පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකාව තරගය තුළට කැන්දාගෙන එමිනි. එය පිට පිට යැවූ පන්දුවාර තුනකදී සිදුකිරීම කැපී පෙණුනේය. මේ අතර පසුගිය තරගවලදී වැඩි දක්ෂතාවක් දැවූ සිම්බාබ්වේ පිතිකරුවා වශයෙන් සිකන්දර් රාසාගේ කඩුල්ල දවාගැනීමට ලක්ෂාන් සඳකැන් සමත්විය. දඟ පන්දු යවන්නන් දෙදෙනෙකුගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා නායකයා ගත් තීරණය සාධාරණ කරමින් මෙම තරගයේදී කණ්ඩායමට එක්ව සිටි සඳකැන් කඩුලු දෙකක් දවා ගත්තේය.  

මේ අතර නුවන් ප්‍රදීප් විසින් සිම්බාබ්වේ පසුපෙළ ඉනිම විනාශ කර දැමූ අතර ඔහු පන්දුවාර 8ක් යවමින් කඩුලු තුනකට හිමිකම් කීවේය. ඒ කඩුලු තුනම කෙළින්ම කඩුල්ලට යොමුකරමින් ලබාගත් ඒවා වීම විශේෂිතය. කඩුලු හිමිකර නොගත්තද සුරංග ලක්මාල් ද අද ඉතා හොඳින් ප්‍රතිවාදී පිතිකරුවන් ඇදබැඳ තබා ගැනීමට දායක වූ අතර ඔහු පන්දුවාර හතක් පමණක් යැවූයේ ලකුණු 23ක් පමණක් ලබාදෙමිනි.