ඇෆ්ගනිස්ථානය-නවසීලන්තය අර්ධ අවසන් පූර්ව වටයට | ඇස පාදන රැස


ඇෆ්ගනිස්ථානය-නවසීලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

Ikram Ali Khil gets off his feet to play a shot during his innings of 55  ඡායාරූපය:  Getty Images
.Ikram Ali Khil gets off his feet to play a shot during his innings of 55
ඡායාරූපය: Getty Images

ඇෆ්ගනිස්ථානය-නවසීලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

තරගාවලිය තුළ පෙරලියක් කරනු ඇතැයි ක්‍රිකට් විචාරකයින් පළ කළ මත සනාත කරමින් ඊයේ (17 ‍වෙනිදා) නවසීලන්තයේ වැන්ගාරේහි කොබ්හැම් ඕවල් ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරගයෙන් ඩක්වර්ත් සහ ලූවිස් න්‍යායට අනුව ලකුණු 32 ක ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථානු යොවුන් පිල සමත් විය.  

නවසීලන්තයේ පැවැත්වෙන දොළොස් වන යොවුන් ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගය ලෙස පැවති මෙම තරගයට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන ඩී කොටසින් තරග වැදිණි.  

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා යොවුන් නායකයා මුලින්ම පන්දුවට පහර දීම සඳහා කළ ඇරයුම පිළිගත් ඇෆ්ගනිස්ථාන පිතිකරුවන් අතරින් මුල් පෙළ පිතිකරුවන් තිදෙනකුම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් විය. පළමු කඩුල්ල ලකුණු 21 දී බිඳ වැටුණු පසු ආරම්භක පිතිකරු ඊබ්‍රාහිම් සද්ද්‍රාන් (86) සමග එක් වූ ඉක්රම් අලි (55) දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 115 ක සබඳතාවක් පවත්වමින් ඇෆ්ගන් ඉනිම ස්ථාවර තත්ත්වයකට ගෙන එනු ලැබිණි. ලකුණු 55 ලබාගැනීම සඳහා පන්දු 89 ක් වැය කළ අලිගේ ඉවසිලිවන්ත ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහරවල් හතරක් පමණි. පන්දු 112 කදී ලකුණු 86 ලබාගත් ඊබ්‍රාහිම් සද්ද්‍රාන් ඒ සඳහා එක් හතරේ පහරක් සහ අලංකාර හයේ පහර පහක් තම ඉනිමට ඇතුළත් කළේය. එම ඉනිම ඔහුට තරගයේ වීරයා සම්මානය ලැබීමටද හේතු විය. ඉක්රම් අලිගේ දැවී යාමෙන් අනතුරව පිටියට පැමිණි දරවිශ් රසූලි පන්දු 44 ක දී ලකුණු 63 ක් ලබා හතරවන කඩුල්ල ලෙස දුවද්දී දැවීගියේය. එවිට ඇෆ්ගිස්ථාන ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 248 ක් ලෙසය.  අවසානයේ ඇෆ්ගනිස්ථාන ඉනිම ලකුණු 284කට සීමාවිණි.

පිළිතුරු ඉනිමේ 24 වන පන්දු වාරය අවසානයේදී පිටියට වර්ෂාව ඇද හැළුනු අතර එවිට ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව කියවුණේ කඩුලු 3 ක දැවී ලකුණු 108 ක් ලෙසය. අනතුරුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා පිලේ ඉලක්කය වූයේ පන්දුවාර 38 කදී ලකුණු 235 කි. මෙම ඉලක්කය හඹායාමේදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ පන්දු 57 කදී ලකුණු 48 ලැබූ ජෙහාන් ඩානියෙල්ය. ඔහුගේ ඉනිමට එක් හතරේ පහරක් සහ හයේ පහර තුනක් ඇතුළත් විය. ක්‍රිශාන් ආරච්චිගේ ලකුණු 41 ක් සහ නායක කවිඳු මෙන්ඩිස් පන්දු 27 ක දී ලකුණු 32 ක් ලබාගත් අතර ජයග්‍රහණය සඳහා සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ අශේන් බණ්ඩාර පන්දු 24 කදී ලකුණු 38 ක් ලබා දැවී යන විට ඇෆ්ගනිස්ථාන පිල ජයග්‍රහණයේ මානයට පැමිණ සිටියේය.  

නවසීලන්ත කෙන්යා තරගය  

ඒ කොටස යටතේ ක්‍රයිස්චර්ච්දීහි කෙන්යාව සමග තරග වැදුණු නවසීලන්ත පිල  ලකුණු 243 දැවැන්ත ජයක් වාර්තා කිරීමට සමත් විය. යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව සිය රට තුළදීම සනිටුහන් කළ නවසීලන්ත පිල නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 4 ක් දැවී ලකුණු 436 ක් රැස් කළේය. නවසීලන්ත ආරම්භක පිතිකරු ජාකොබ් බ්හුලා ලකුණු 180 ක් ලබා ගත් අතර ආරම්භක කඩුල්ල වෙනුවෙන් රචීන් රවීන්ද්‍ර ලකුණු 117 ක් සමඟ ලකුණු 245 ක සබඳතාවක් ගොඩනැගීය. බ්හූලා ලබාගත් ලකුණු 180 අවුරුදු 19 පහළ ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි. එසේම මොවුන් දෙදෙනාගේ සබඳතාව පළමු කඩුල්ලක් වෙනුවෙන් පවත්වා ඇති හොඳම පිතිකරු සබඳතාවයයි.  

ලකුණු සාරාංශය  

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය

 ඇෆ්ගනිස්ථානය: පන්දු වාර 50 ක දී කඩුලු 7 ක දැවී 284  
ඉබ්‍ර්ාහිම් සද්ද්‍රාන් 86, ඉක්රම් අලි 55, දර්විශ් රසූලි 63  
තිසරු රශ්මික ලකුණු 64 ට කඩුලු 2, නිපුන් මාලිංග 56 ට කඩුලු 2  
ශ්‍රී ලංකාව: පන්දුවාර 37.3 ක දී සියලු දෙනා දැවී 202  
ජෙහාන් ඩැනියෙල් 48, ක්‍රිශාන් ආරච්චිගේ 41, අශේන් බණ්ඩාර 38  

නවසීලන්තය සහ කෙන්යාව  

නවසීලන්තය:පන්දුවාර 50 කදී කඩුලු 4 ක් දැවී 436  
ජකොබ් බ්හුලා 180, රචීන් රවීන්ද්‍ර 117, ෆින් ඇලන් 90  
කෙන්යාව: පන්දුවාර 50 ක දී කඩුලු 4 ක දැවී 193  
අමන් ගාන්ධි 63, තෝමස් ඕචෙන්ග් නොදැවී 39  

සිම්බාබ්වෙ සහ ඕස්ට්‍රේලියාව  

සිම්බාබ්වේ :පන්දුවාර 33.2 ක දී සියලු දෙනා දැවී 134  
රොබට් චිම්හින්යා 27  
ක්ෂේවියර් බාට්ලෙට් ලකුණු 20 ට කඩුලු 3, සදර්ලන්ඩ් ලකුණු 21 ට කඩුලු 2  
ඕස්ෙට්‍ර්ලියාව :පන්දුවාර 18.2 ක දී කඩුලු 3 ක් දැවී 135  
මැක්ස් බ්‍රයන්ට් 44, ජැක් එඩ්වර්ඩ්ස් 40 

මාතෘකා