ලංකාව යළි පරදියි | ඇස පාදන රැස


ලංකාව යළි පරදියි

Sikandar Raza struck a counter-attacking fifty  ඡායාරූපය:  AFP
.Sikandar Raza struck a counter-attacking fifty
ඡායාරූපය: AFP

ලංකාව යළි පරදියි

බංග්ලාදේශ තුන්කොන් කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය වශයෙන් ඊයේ පැවැති තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ ලකුණු 12ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා පිලට සිදුවිය. ලකුණු 291ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලේ ඉනිම ලකුණු 278කට සීමා කිරීමට සිම්බාබ්වේ පන්දුයවන්නන් සමත්වීමත් සමඟ ඔවුන් එම තරගයේ ජයග්‍රහණය සනිටුහන් කරගත්තේය. කුසල් ජනිත් පෙරේරා ලකුණු 80කට දැවීයාමත් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල ලකුණු 42 කට සීමාවීමත්, දිනේෂ් චන්දිමාල් ලකුණු 34කට දැවීයාමත් ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රධාන බිඳවැටීම් විය. බොහෝ දුරින් තිබූ ජයග්‍රහණය තවතවත් දුරස් කරමින් අසේල ගුණරත්නද දැවී ගිය අතර තිසර පෙරේරා වේගවත් පිතිහරඹයක් දියත් කරමින් යළිත් ශ්‍රී ලංකා කඳවුරට ජීවය එක්කළේය. හයේ පහර තුනක් හතරේ පහර පහක් සමඟින් පන්දු 37 කදී ඔහු ලකුණු 64ක් රැස්කර හොඳින් තරගයේ පාලනය ශ්‍රී ලංකාව වෙත දිනා දී  සිටියදී තරමක් කලබලවී එල්ල කළ ප්‍රහාරයක් වැරදීයාමෙන් එය උඩපන්දුවක් ලෙස රැකගැනීමට සිකන්දර් රාසා සමත්විය. ඒ සමඟ ශ්‍රී ලංකා ඉනිමේ බිඳවැටීම සම්පූර්ණ වූ අතර ජයග්‍රහණයට තවත් ලකුණු 16ක් මෙපිටින් සිටි ඔවුන් ඊට සුළු වේලාවකට පසු සම්පූර්ණයෙන්ම තරගයේ පරාජය තහවුරු කරගත්තේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් හිටපු නායකයකු වන උපුල් තරංග අසාර්ථක වූ අතර ඔහු රැස්කළේ ලකුණු 11ක් පමණි. ඉන්පසු පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම  දැවී ගියේය. එලෙස ඔහු ලකුණු නොලබා දැවී ගිය සිය සිව්වැනි අවස්ථාව ලෙස ඊයේ ඔහුගේ ඉනිම සැලකෙයි.  මෙම තරගයට පෙර ඔහු සහභාගිවූ අවසන් තරග දහය තුළම රැස්කර ඇති ඉහළම ලකුණු ප්‍රමාණය ලකුණු 36 කි. තවත් එක් තරගයක නොදැවී ලකුණු 28ක් රැස්කිරීම හැරුණු කල සෙසු සියලු ඉනිම් ඉතා අඩුලකුණු ගණනකට සීමාවී තිබේ. මෙම තරගයේදී කුසල් මෙන්ඩිස්ගේ සුපිරි පිති ප්‍රහාරය අපේක්ෂාවෙන් සිටි නමුත් තවමත් ඔහු තුළ පුද්ගල විශ්වාසය වැඩිදියුණුවී ඇත්තේද යන්න සම්බන්ධයෙන් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කිරීමට ඊයේ  ඉනිම ප්‍රබල ලෙස ඉවහල් විය. ඔහු පන්දු හතරකට පමණක් ක්‍රීඩා කළ අතර ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා වේගවත් ලකුණු 80ක් රැස්කළේය. පන්දු 83 ක් පුරා දියත්වුණු ඔහුගේ එම ඉනිම හයේ පහර දෙකකින් හා හතරේ පහර අටකින් වර්ණවත් විය.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට පැවරීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි සිම්බාබ්වේ ආරම්භක පිතිකරුවන් ශක්තිමත් අඩිතාලමක් දැමූ අතර එය ලකුණු 75ක් ලෙස සටහන් විණි.  හැමිල්ටන් මෂකඩ්සා සහ සොලමන් මීරේ පිළිවෙලින් ලකුණු 73ක් හා 34ක් රැස් කළහ. හැමිල්ටන් මසකඩ්සා සිය ඉනිම දියත් කළේ  පන්දු 83 ක් තුළය.  හැමිල්ටන් මසකඩ්සාගේ පිති ප්‍රහාරය සිම්බාබ්වේ පිලට ජීවය කැවූ අතර ඔහු  දස වතාවක් පන්දුව හතරේ සීමාවෙන් ඔබ්බට යැවීමට සමත්වූයේය.

පන්දුයැවීමේදී  අසේල ගුණරත්න කඩුලු තුනක් දවාගත්තේය. ශ්‍රී ලංකාව සහභාගිව දෙවැනි තරගය හෙට මිර්පූර්හිදී බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිතයි.

මාතෘකා