ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ගැටුම අද | ඇස පාදන රැස


ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ගැටුම අද

 ඡායාරූපය:

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ ගැටුම අද

තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය වශයෙන් ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ. දිවා රාත්‍රී තරගයක් වශයෙන් පැවැත්වෙන මෙම තරගය පැවැත්වෙන්නේ පස්වරුවේ ඩකා නුවර බෙංගාල් ජාතික ක්‍රීඩාංගණයේදී ය. ක්‍රීඩාංගණයේ තණතීරුව සම්බන්ධයෙන් සැලකීමේදී සත්කාරක බංග්ලාදේශ පිල සමඟ තරගයට පෙර පුහුණු තරගයක් වශයෙන් මෙම තරගය ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් සැලකිය හැකිය. නව පුහුණුකරු චන්දික හතුරුසිංහ කණ්ඩායම බාරගැනීමෙන් අනතුරුව සහභාගි වන පළමු තරග සංචාරයේ පළමු තරගය මෙයයි. එහිදී ඔහු කාලයක් හුරුපුරුදු බංග්ලාදේශ තණතීරු මත තමන් පුහුණු කළ කණ්ඩායම තරගයකට සහභාගි කරවීම වැඩි වාසි උදාකර ඇත. විශේෂයෙන් එහිදී තණතීරුවේ හැසිරීම සම්බන්ධයෙන් චන්දික හතුරුසිංහට සමීප අත්දැකීම් තිබේ.

කෙසේ වෙතත් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පුහුණුකරු හතුරුසිංහ පවසා තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ දේ වැඩිදියුණු කිරීමට සිදුව ඇති බවය. ‘ක්‍රීඩකයන් හුඟාක් පැතිවලින් වෙනස් කරන්න උවමනායි. ආබාධ, නායකත්වය වෙනස් වීම්, පසුගිය වසරේ ලබපු පරාජ කියන සියලු කාරණා සම්බන්ධයෙන් මෙතැනදී අපිට සැලකිලිමත් වෙන්න සිදු වෙනවා. ඒ අනුවයි අපි ඉදිරි තරග ගැන සිතිය යුත්තේ’ යැයි හතුරුසිංහ පවසා තිබේ. ‘මට කණ්ඩායම බාරගනිද්දී ලොකු කම්පනයක් තිබුණා. දැන් මට කම්පනයක් තියෙන්නෙ මම පුහුණු කරන කණ්ඩායමේ ක්‍රීඩකයන් කොහොමද අනාගතයේදී තරගවලට මුහුණ දෙන්නේ කියලා.’ හතළිස් නව වියැති චන්දික හතුරුසිංහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ට පවසා ඇත.  

පසුගිය වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 29 කට ක්‍රීඩා කර ඉන් තරග 5ක් පමණක් ජයගැනීමට සමත් වූ  අතර තවමත් එකී වේදනාව සමහන් වී නැත. 2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන කණ්ඩායම නිර්මාණය කරගැනීමේ අරමුණු පෙරදැරිව මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයේ සංචාරයක නිරත වෙයි. එම සංචාරය අතරතුර තමන්ට අවශ්‍ය ආකාරයට කණ්ඩායම වෙනස් කරගැනීමේ බලතල නව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පුහුණුකරු චන්දික හතුරුසිංහ වෙත ලබාදී තිබේ. මේ අතර බංග්ලාදේශ කණ්ඩායමේ හිටපු පුහුණුකරුවා වන හතුරුසිංහගෙන් වැටුප් සම්බන්ධව සාකච්ඡා කිරීමට බංග්ලාදේශ මාධ්‍යවේදීන් කටයුතු කර තිබූ නමුත් එය කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමට ඔහු කටයුතු කර තිබිණි. ‘වැටුප සම්බන්ධයෙන් කිසිවක් කතා කරන්න එපා කියල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මට කියල තියෙනවා. අපි අතර තියෙන කොන්ත්‍රාත්තුවට අනුව මට ඒ ගැන කතා කරන්න බෑ.’

මේ අතර ඔහුගේ සහය පුහුණුකරු වශයෙන් ඉදිරියේදී තිලාන් සමරවීර නිල වශයෙන් පත්කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට නික් පොතාස් පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරන හෙයින් සහාය පුහුණුකරු වශයෙන් තිලාන්ගේ සේවය ලබාගැනීමට අ‍පේක්ෂා කරන බව පැවසෙයි. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකයා ‘රැසට’ පැවසුවේ සහය පුහුණුකරුවකු පත්කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයකට එළඹ නොමැති බවයි.

 ‘අපේ එහෙම තනතුරක් දෙන්න උවමනාවක් නෑ. අපි එහෙම දෙයකට සැලසුමක් හදලත් නෑ.’ ඔහු වැඩිදුරටත් පැවසුවේය.  
මේ අතර දෙරට අතර තරග ඉතිහාසය සම්බන්ධයෙන් කතා කිරීමේදී එහි වැඩි වාසි හිමිව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි. දෙරට අතර එක්දින තරග 55 ක් පවත්වා ඇති අතර ඉන් තරග 43ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. තරග 10ක ජය හිමි වී ඇත්තේ සිම්බාබ්වේ කණ්ඩායමටයි. තරග දෙකක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇති අතර මෑත කාලයේ පැවැති තරග පහෙන් තරග තුනක් ශ්‍රී ලංකා පිල ජය ලබා ඇති අතර ඉතිරි තරග දෙකේ ජය හිමි වී ඇත්තේ සිම්බාබ්වේ කණ්ඩාමටයි.  

අද පැවැත්වෙන තරගය සඳහා අවසන් කණ්ඩායම තෝරාගැනීමට නියමිත සංචිතය  
ධනුෂ්ක ගුණතිලක, උපුල් තරංග, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, අසේල ගුණරත්න, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, කුසල් පෙරේරා, දුෂ්මන්ත් චමීර, ෂෙහාන් මධුසංඛ, ලක්ෂාන් සඳකැන්.  

සිම්බාබ්වේ සංචිතය  
හැමිල්ටන් මසකඩ්සා, සොලමන් මිර්, ක්‍රෙග් අර්වින්, බර්නාඩන් ටේලර්, සිකන්දර් රාසා, මැල්කොලම් වොලර්, පීටර් මූර්, ග්‍රෑම් ක්‍රීමර් (නායක), කේල් ජාවිස්, ටෙන්ඩායි චාට්රා, බ්ලෙසිං මුෂරාබානි, ක්‍රිස් මෝෆු, බ්‍රැන්ඩන් මවුටා, ටෙන්ඩායි ක්‍රිසෝරෝ, රයන් මරේ