මහේල-සංගා වාර්තාව හමස් පෙට්ටියට දාන්නේ නෑ | ඇස පාදන රැස


මහේල-සංගා වාර්තාව හමස් පෙට්ටියට දාන්නේ නෑ

 ඡායාරූපය:

මහේල-සංගා වාර්තාව හමස් පෙට්ටියට දාන්නේ නෑ

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා ඇතුළු පංච පුද්ගල කමිටුව විසින් ලබාදුන් වාර්තාව සම්බන්ධයෙන් පළාත් පාලන මැතිවරණයෙන් පසු සාකච්ඡා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබේ. “ඔවුන්ව එකතු කරගන්න අසීරු වුණා. දැන් මැතිවරණයත් එක්ක මමත් කාර්යබහුල වෙලා. පෙබරවාරි මාසය තුළදී අපි යළි එකට එකතු වෙලා සාකච්ඡා කරන්න අපේක්ෂා කරනවා. අනිවාර්යයෙන්ම වාර්තාවේ තියෙන කරුණුවලට අනුව කළ යුතු ඉදිරි ක්‍රියාමාර්ගවලට එළැඹීමට අපි අපේක්ෂා කරනවා. ඊට ඉස්සර එ් ගැන සාකච්ඡා කළ යුතුයි” ක්‍රීඩා අමාත්‍යවරයා 'රැසට' පැවසීය.  

පසුගිය කාලයේ ඇතැම් පුද්ගලයන් චෝදනා කළේ ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීම සම්බන්ධයෙන් කරුණු සෙවීම සඳහා ක්‍රීඩා අමාත්‍යංශය කමිටුවක් පත් කළද එහි වාර්තාව නිකුත් වූ පසු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන එය හමස් පෙට්ටියේ දමා ඇති බවයි. හිටපු සභාපතිවරයකු වන හේමක අමරසූරිය මහතාගේ සභාපතිත්වය යටතේ අනුර තෙන්නකෝන්, කුමාර් සංගක්කාර, අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සමන්විත වූ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ පුනරුදයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඔවුන් යෝජනා ගණනාවක් ඉදිරිපත් කර තිබිණි. එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ක්‍රීඩකයන් නිරන්තරයෙන් ආබාධවලට ලක්වීම, ජාත්‍යන්තර පිටියේදී දක්ෂතා අතරට පැමිණීමේදී ඇති වන ගැටලු, දේශීය තරග සැලැස්මේ දියුණු විය යුතු අංග ආදිය එම වාර්තාව මගින් යෝජනා ඉදිරිපත් කර ඇත. පරිපාලන ව්‍යූහයේ සිදු විය වෙනස්වීම් සම්බන්ධයෙන්ද මෙම පංච පුද්ගල කමිටුව වාර්තාවේ සඳහන් කර ඇති බැව් සඳහන්ය.   

පසුගිය කාල සීමාව පුරාම කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන විදේශගතව සිටි අතර අරවින්ද ද සිල්වා ද ව්‍යාපාරික කටයුතු හේතුවෙන් මෙරට හා විදේශගතව සිටි නිසා සියලු පාර්ශ්ව එක්ව වාර්තාව ගැන සාකච්ඡා කිරීම කල්දැමුණේය.