හතුරුසිංහගේ පළමු අභියෝගය හෙට | ඇස පාදන රැස


හතුරුසිංහගේ පළමු අභියෝගය හෙට

 ඡායාරූපය:

හතුරුසිංහගේ පළමු අභියෝගය හෙට

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ සිම්බාබ්වේ කණ්ඩායම් සහභාගි වන තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අද බංග්ලාදේශයේදී ආරම්භ වෙයි. එහි පළමු තරගය වශයෙන් සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මිර්පූර්හිදීය. දිවා රාත්‍රී තරගයක් වශයෙන් පැවැත්වෙන මෙම තරගය අද ආරම්භ වීමට නියමිතව ඇත්තේ පස්වරු 2.30ටය. විසිපන්දහසකට අධික තරග නරඹන්නන් පිරිසකට එකවර තරග නැරඹිය හැකි මෙම ක්‍රීඩාංගණය පිහිටා ඇත්තේ ඩකා නුවර වන අතර මීට පෙර එක්දින තරග 106ක් පවත්වා ඇති ක්‍රීඩාංගණයකි.   

බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය මෂ්රෆි මොර්ටාසා විසින් හොබවන අතර ඔහුගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම තරගාවලියේ මුල් තරග දෙක සඳහා ක්‍රීඩා කරනු ඇත. අනතුරුව පැවැත්වෙන තරග සඳහා ක්‍රීඩක සංයුතිය ක්‍රීඩකයින්ගේ දක්ෂතාව මත තීරණය කිරීමට බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ. එසේ කණ්ඩායමේ සංයුතිය සලකා බැලීමට ඔවුන් තීරණය කර ඇත්තේ නිත්‍ය පුහුණුකරුවා නොමැතිව මෙම තරගාවලියට ඔවුන් තරග වදින හෙයිනි. පසුගිය වසරේ දකුණු අප්‍රිකානු තරග සංචාරයෙන් පසු නව වසරේ ඔවුන් සහභාගි වන පළමු තරගාවලිය මෙය වීමද සුවිශේෂීය. බංග්ලාදේශ කණ්ඩායමේ වඩා සාර්ථක එක්දින ක්‍රිකට් නායකයා වශයෙන් සැලකෙන මොර්ටාසා තරග පනහක් සඳහා නායකත්වය ලබාදෙමින් ඉන් විසිහතක් ජයගෙන විසි එකක් පරාජය ලබා තිබේ. තරග දෙකක් විසඳුමෙන් තොරව අවසන් වී ඇති අතර ඔහුගේ ජයග්‍රහණ ප්‍රතිශතය සියයට පනස් හයයි දශම දෙකයි පහකි.

මේ අතර තරගාවලිය සඳහා සහභාගි වන සිම්බාබ්වේ සංචිතය කෙබඳුද යන්න මෙතෙක් ප්‍රසිද්ධ කර නැත. කෙසේ වෙතත් මෙම තරගාවලියේදී ඉක්මනින් තරග ජයගැනීමට තම කණ්ඩායමට අවස්ථාව පවතින බව සිම්බාබ්වේ පුහුණුකරු හීත් ස්ට්‍රීක් පවසා තිබේ. “මම චන්දික හතුරුසිංහ සමඟ පන්දු යවන පුහුණුකරු වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව මම තාක්ෂණික අධ්‍යක්ෂ වශයෙන් ඉන්න කාලිඩ් මහමුද් සමඟ කටයුතු කළා. මේ දෙන්නාම මට හොඳ හුරුපුරුදු උදවිය. ඉතින් මේ තුන්කොන් තරගාවලිය අපි හැමෝටම අභියෝගයක්. මම විශ්වාස කරනවා අපි පසුගිය කාලේ එක්දින තරග ක්‍රීඩා නොකළත් ඉක්මනින් තරගාවලිය තුළට ඇතුළුවෙන්න පුළුවන් කියලා. අනෙක බංග්ලාදේශයේ පැවැත්වෙන බී.පී.එල්. තරගාවලියේදී සිම්බාබ්වේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරලා අත්දැකිම් ලබාගෙන තිබෙනවා” යැයි පවසා ඇත.  

මේ අතර ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 13 වැනිදා දිවයිනෙන් පිටත්ව ගියේ ඊට පෙරදින පස්වරුවේ ආගමික චාරිත්‍ර පැවැත්වීමෙන් අනතුරුවය. උදෑසන 5.15ට කණ්ඩායම ගුවන්තොටුපොළ වෙත නික්මගිය අතර මේ වන විට බංග්ලාදේශයේ පෙර පුහුණු කටයුතු අරඹා ඇති බව සඳහන්. “ක්‍රීඩකයන් සියලු දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. හෙට තියෙන බංග්ලාදේශ අභියෝගය බාරගන්න අපේ කණ්ඩායම හොඳ මානසිකත්වයකින් සූදානම්” යැයි ශ්‍රී ලංකා කණ්ඩායම් කළමනාකරු අසංක ගුරුසිංහ මහතා බංග්ලාදේශය කළ විමසීමකට පිළිතුරු ලබාදුන්නේය.

මෙම තුන්කොන් තරගාවලිය අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුව පහළම රැඳී සිටින කණ්ඩායම් තුනක් අතර පැවැත්වෙන තරගාවලියක් බැවින් නැවත සිය දක්ෂතා තහවුරු වීම සියලු දෙනාටම වැදගත් තරගාවලියකි. එමෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියද ජනවාරි 27 වැනිදා හා 28 වැනිදා දිනයන්හිදී සිදු වීමට නියමිත බැවින් එම වෙන්දේසියට ලියාපදිංචි වී ඇති ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේ දක්වන දක්ෂතා වැදගත් වී තිබේ. එහෙයින් ජාතික හා පෞද්ගලික යන කාරණා ඉවහල් කරගනිමින් මෙවර තුන්කොන් තරගාවලිය වඩාත් වෘත්තීය ස්වරූපයක් ගනු ඇතැයි විචාරකයන්ගේ විශ්වාසයයි.  

තරග පැවැත්වෙන කාල සටහන (සියලු තරග දිවා - රාත්‍රී තරග ලෙස මිර්පූර් ක්‍රීඩාංගණයේ පැවැත්වේ.)  

15 - බංග්ලාදේශ - සිම්බාබ්වේ අතර   
17 - ශ්‍රී ලංකාව - සිම්බාබ්වේ අතර  
19 - බංග්ලාදේශය - ශ්‍රී ලංකාව අතර  
21 - ශ්‍රී ලංකාව - සිම්බාබ්වේ අතර  
23 - බංග්ලාදේශය - සිම්බාබ්වේ අතර  
25 -බංග්ලාදේශය - ශ්‍රී ලංකාව අතර  
27 - අවසන් මහා තරගය