තේරීම් කමිටු සභාපති හදිසියේ විදේශ ගතවේ

 ඡායාරූපය:

තේරීම් කමිටු සභාපති හදිසියේ විදේශ ගතවේ

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන අවසන් ශ්‍රී ලංකා සංචිතය නම් කිරීම තවදුරටත් ප්‍රමාදවී තිබේ. ඊට හේතුවී ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව අනුව ඔහු කණ්ඩායමට එක්කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයකට එළඹී නැතිවීම බව සඳහන්. අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධානියකුගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ සංචිතය ඊයේ පස්වරුවේ හෝ අද දිනයේ ප්‍රසිද්ධියට පත්කිරීමට හැකියාව පවතින බවය.

‘අපි උත්සහ කරනවා එය කෙසේ හෝ නිවේදනය කරන්න. ඇන්ජලෝගේ රෝගී තත්ත්වය තමයි මෙතැනදී පරහකට හිටින්නෙ. ඔහු තරගාවලියට ක්‍රීඩා කරනවාද නැද්ද කියන එක තීරණය අනුව තමයි අවසන් සංචිතය නිවේදනය කළ යුත්තේ. අපේ අරමුණ කෙසේ හෝ ඔහුව කණ්ඩායමට එකතු කරගැනීමයි. නමුත් රෝගී තත්ත්වයේ සුවතාව ගැන අපිට දීර්ඝ කාලීන ලෙස සිතිය යුතුවෙනවා.’ එම ප්‍රකාශකයා පැවසුවේය.

මේ අතර පසුගිය තරග සංචාරතුළ ආබාධයන්ට ලක්වූ කුසල් ජනිත් පෙරේරා, දුෂ්මන්ත චමීර හා නුවන් ප්‍රදීප් සුව අතට පත්ව ඇති බව ඔහු සඳහන් කළේය. ඔවුන් මේ වනවිට දේශීය ක්‍රිකට් තරගාවලියේ පන්දුවාර විස්සයි විස්ස තරගාවලියට ක්‍රීඩා කරමින් සිටින අතර ඔවුනට අමතරව ලසිත් මාලිංග වැනි ක්‍රීඩකයන්ද ඒ වෙනුවෙන් තරග වැදී සිටිති. කෙසේ නමුත්  ප්‍රමුඛ පෙළ ලීග් තරගාවලියේ දක්ෂතා මත පදනම් කරගනිමින් නිදහස් කුසලානය වෙනුවෙන් සංචිතය තේරීමට තීරණයක් ගෙන නොමැති බව ප්‍රකාශිතය. කෙසේවෙතත් එම තරගාවලියේදී ක්‍රීඩකයන් දක්වන සම්පූර්ණ දක්ෂතා ඉදිරි තරගාවලි ඉලක්ක කරගනිමින් පිහිටවන සංචිතයට ඔවුන් ඇතුළත් කරගැනීමට ද නියමිතය. මේ අනුව බොහෝදුරට දේශීය තරගාවලියේදී විශේෂිත දක්ෂතා දක්වන ක්‍රීඩකයකු නොවේනම් නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියට ඔහු ඇතුළත් කරගැනීමේ අවකාශ අවම අගයක් ගන්නාබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. කෙසේවෙතත් අවශ්‍ය නම්ජාතික පුහුණුකරුවාට ක්‍රිකට් ව්‍යවස්ථාව මගින් ලබාදුන් අධිකාරි බලය උපයෝගී කරගනිමින්  නවක ක්‍රීඩකයන් කණ්ඩායමට කැඳවීමට අවකාශය පවතින බවද එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

මේ අතර නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තේරීම් කටයුතු සිදුකිරීමෙන් අනතුරුව තේරීම් කමිටු සභාපති හදිසි අවශ්‍යතාවක් සඳහා විදේශගතව ඇත. ඔහු විදේශ ගතවුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද සනාථ කළේය. එහෙත් එය පෞද්ගලික අවශ්‍යතාවක් මත විදේශගත වීමක් බවද එම ආයතනය ප්‍රකාශ කර සිටියේය. ‘අපි ඔහුගේ පෞද්ගලික සංචාර ගැන වදවෙන්නෙ නැහැ. අපි දන්නෙ නෑ ඔහු ගියේ කොහෙටද කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවරලා තිබෙන රාජකාරි කරන්න තියෙන වැඩ කටයුතු කරලා ඔහු විදේශ ගතවෙලා තියෙන නිසා අපිට ගැටලුවක් ඇත්තෙම නෑ.’ එම ප්‍රකාශකයා රැසට පැවසීය.

ශ්‍රී ලංකා සංචිතයට ෂෙහාන් මධුසංඛ හා අසේල ගුණරත්න ඇතුළත් නොකිරීමට නියමිතව ඇත්තේ පසුගිය බංග්ලාදේශ සංචාරය අතරතුර ඔවුන්් දෙදෙනාම ආබාධයන්ට ලක්වූ බැවිණි.