දේශීය රග්බි බළකොටුව මහනුවර ක්‍රීඩා සමාජය

 ඡායාරූපය:

දේශීය රග්බි බළකොටුව මහනුවර ක්‍රීඩා සමාජය

මහා බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය ආරම්භ වීමෙන් අනතුරුව  ශ්‍රී ලංකාව තුළ ජනප්‍රියත්වයෙන් ඉහළින්ම පවතින ක්‍රීඩා දෙකක් ලෙස රග්බි ක්‍රීඩාව හා ක්‍රිකට් ක්‍රීඩාව හැඳින්විය හැකිය. එලෙස මෙරට තුළ වැඩි වර්ධනය වූ රග්බි ක්‍රිඩාව කොළඹ මෙන්ම එකසේ ජනප්‍රියව ඇති අනෙක් ප්‍රදේශය වන්නේ මහනුවරයි. යුද හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා යන ත්‍රිවිධ හමුදාව නියෝජනය කරන ප්‍රබල රග්බි කණ්ඩායම් ද  පොලිස් රග්බි කණ්ඩායම ද රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙලෙස රග්බි ක්‍රීඩාවේ නිරත ප්‍රබල කණ්ඩායම් කීපයට ඇතුළත් වෙයි. ඊට අමතරව කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රධාන පෙළේ රග්බි කණ්ඩායම් ලෙස හැව්ලොක්, සී. එච්. ඇන්ඩ් එෆ්. සී. සහ සී .ආර්. ඇන්ඩ් එෆ්. සී. කණ්ඩායම් හැඳින් විය හැක. එම කණ්ඩායම් අසූව දශකය වන විට ශ්‍රී ලංකාවේ ප්‍රබලම රග්බි කණ්ඩායම් බවට පත්වී සිටියහ. නමුත් වර්තමානය වන විට මෙරට ප්‍රබලම රග්බි කණ්ඩායම බවට පත්වී සිටින්නේ මහනුවර ප්‍ර දේශයේ සිට ක්‍රියාත්මක වන රග්බි කණ්ඩායමක්ය.  ඒ අගනුවරින් පිටත කඳුරට ස්ථාපිතව ඇති  මහනුවර ක්‍රීඩා සමාජය යි. කොළඹ මෙන් නොව මහනුවර කේන්ද්‍ර කරගනිමින් පළමු පෙළ තරගාවලියට එක්වන එකම රග්බි කණ්ඩායම වන්නේ ද මෙම කණ්ඩායම වීම කැපී පෙණෙයි.  

1874 වසරේ දී හාහා පුරා කියා ඇරඹි මෙම ක්‍රීඩා සමාජය සඳහා දායකත්වය දැක්වූයේ  ප්‍රදේශයේ වෙසෙන දැවැන්ත වැවිලි ක්ෂේත්‍රයේ ව්‍යාපාරික ප්‍රජාව විසිනි. ඔවුන්ගේ දායකත්වයෙන් මෙම ක්‍රීඩා සමාජය ආරම්භ වූයේ මහනුවර මලල ක්‍රීඩා, බෝට්ටු, ක්‍රිකට්, පාපන්දු සහ නැටුම් සමාජය ලෙසිණි. පසුව 1888 වසරේදී ඔවුන් මහනුවර ක්‍රීඩා සමාජය ලෙස නාමකරණය විය. එකල මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රධාන ක්‍රීඩාංගනය වූයේ බෝගම්බර ක්‍රීඩාංගණය යි. වර්තමානය වනවිට එහි ප්‍රධාන ක්‍රීඩාංගනය ලෙස නිත්තවෙල ක්‍රීඩාංගනය සැලකෙයි. එය සිදුව ඇත්තේ  1939 වසරේ සිටය.  

අසූව දශකය දක්වාම මෙරට රග්බි පිටියේ ප්‍රධාන ස්ථානය ඉසුලූවේ පොලිස්  සහ කොළඹ කේන්ද්‍ර කරගත් රග්බි කණ්ඩායම් විසිනි. එහෙත් අනූව දශකය වන විට එය ක්‍රමයෙන් මහනුවරට විතැන් වූ අතර අද වන විට ඉඳ හිට හෝ ශූරතාවයක් ජය ගැනීම මහනුවර ක්‍රීඩා සමාජයෙන් පිට කණ්ඩායමකට අසීරු වන තරමට එය වර්ධනයවී ඇත. එයට කදිම සාක්ෂි සපයන්නේ පසුගිය වසර විස්ස තුළ ලීග් ශූරතාවයේ ජයග්‍රාහකයන් පිරික්සීමේ දී ය. එම විසි වසර තුළ ලීග් ශූරතාවය පහළොස් වතාවක් ද, ක්ලිෆර්ඩ් කුසලානය 17 වසරක් ද ජය ගැනීමට සමත්ව ඇත්තේ මහනුවර කණ්ඩායම යි.  

ඒ අතර වාරය තුළ මෙරට පළමු පෙළ රග්බි ශූරතාවය 18 වතාවක් ජය ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව ඇත. ඔවුන්ට දෙවැනි වන හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය 14 වතාවක් ලීග් ශූරයින් බවට පත් වී ඇත. ඒ අතරින් මහනුවර ක්‍රීඩා සමාජයේ අසමසම වාර්තාව වන්නේ 2001 වසරේ සිට 2011 වසර දක්වා කැල්ටෙක්ස් ලීග් ශූරතාව වසර එකොළහක් පුරාවට මහනුවර පුරවරය සතු කරගනිමින් ඔවුන් පෑ පෙළහරය. ඔවුන්ට දෙවැනි වන්නේ පොලිස් ක්‍රීඩා සමාජය යි. 1985 සිට 1989 දක්වා ජෝන් ප්ලේයර් ලීග් ශූරතාවය වසර පහක් පිට පිටම දිනා ගැනීමට පොලිස් කණ්ඩායම සමත් වී තිබේ.  

20 වතාවක් ක්ලිෆර්ඩ් කුසලානයේ හිමිකාරිත්වය දිනා ගැනීමට ද මහනුවර ක්‍රීඩා සමාජය සමත්ව ඇත. ඔවුන්ට දෙවැනි වන්නේ සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. කණ්ඩායම පමණි. ඔවුන් 14 වතාවක් ශූරතාව දිනා ගෙන ඇත. එහි දී 2000 සිට 2005 දන්වා හය වතාවක් ද 2007 සිට 2012 දක්වා හය වතාවක් ද බැගින් පිට පිටම ශූරතාව ජය ගෙන ඇත. වර්තමානය වන විට ද ක්ලිෆර්ඩ් කුසලානයේ හිමිකාරිත්වය දරන්නේ 2015 සිටම පිට පිටම දැනටමත් වසර තුනක් ශූරතාව දිනූ ප්‍රබල මහනුවර පිල යි.  

එසේම ජනාධිපති අභියෝග ශුරතා කුසලානය ද දොළොස් වසරක් ජය ගැනීමට ඔවුන්ට හැකිවී තිබීම මහනුවර ක්‍රීඩා සමාජය සතු ප්‍රබලත්වය මොනවට පැහැදිලි කරවයි. ඉන් වසර අටක්ම එනම් 2002 වසරේ සිට 2009 දක්වා අඛණ්ඩව ශූරතාවය ජය ගැනීමට සමත් විය.  

මහනුවර කණ්ඩායමේ සුපිරිතම දක්ෂතාවය ප්‍රකට වන්නේ වසර එකොළහක් මෙම ත්‍රිත්ව ශූරතාවයන්ම ජය ගැනීමය. එයිනුත් වසර අටක් පිට පිටම ත්‍රිත්ව ශූරතා ජය ගැනී‍ෙමන් ඔවුන් හැකියාව ප්‍රදර්ශනය කර ඇත. ඒ 2002 වසරේ සිට 2009 වසර දක්වා ය.  

වර්තමානය වන විට මහනුවර ක්‍රීඩා සමාජය මේ ආකාරයට ප්‍රමුඛතම දේශීය රග්බි කණ්ඩායම බවට පත් වීමට බලපෑ හේතු කිහිපයක්ම හඳුනා ගත හැකිය. ඒ අතරින් මුල් තැනක් ගන්නේ කණ්ඩායමට දක්ෂයින්  හිඟ නොවීමයි. මහනුවර කණ්ඩායමට රග්බි ක්‍රීඩකයින්ගෙන් හිඟයක් නොවීමට ප්‍රබලම හේතුවක් වන්නේ ශ්‍රී ලංකා පාසල් රග්බි පිටියේ ප්‍රබලම පාසල් කිහිපයකම ක්‍රීඩකයින් නිරන්තරවම මහනුවර පිලට මුදා හැරීමයි. ෆාසිල් මරීජා ද එසේ කෙළින්ම කිංග්ස්වුඩ් විද්‍යාල පිලෙන් මහනුවර කණ්ඩායමට පැමිණියෙක‍ි. පාසල් රග්බි පිටියේ ප්‍රබලයින් වන ත්‍රිත්ව, කිංග්ස්වුඩ්, සාන්ත අන්තෝනි, ධර්මරාජ, විද්‍යාර්ථ සහ සාන්ත සිල්වෙස්තර් දක්ෂයන්ට මහනුවර ක්‍රීඩා සමාජය යනු කෙම්බිමකි. රග්බි පිටිය තුළ ඔවුනට විකසිතවීම සඳහා එය අමිල අවස්ථාවකි. මහනුවර පිලට ද එම පාසල් ක්‍රීඩකයින් මිල කළ නොහැකි නිධානයන් බඳුය. එයට අමතරව අගනුවර දක්ෂ ක්‍රීඩකයින්ට ද එම කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාවක් ලබාදීමට මහනුවර පිල සූදානම් ය. ඒ සඳහා ක්‍රීඩකයන් අතර ඇත්තේ දැඩි කැමැත්තකි. ඊට ඉවහල්ව ඇත්තේ මහනුවර ක්‍රීඩා සමාජය විසින් තම ක්‍රීඩකයින්ව නිසියාකාරයෙන් රැකබලා ගැනීමට දක්වන කැමැත්තය.

වර්තමානය වනවිට  මහනුවර කණ්ඩායමට ක්‍රීඩා කිරීම යනු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම තරම්ම තරගකාරී සහ මෙරට සිටින රග්බි ක්‍රීඩකයින්ගේ ප්‍රධාන බලාපොරොත්තුවක් බවට පත්ව ඇතැයි කිවහැක්කේ එහෙයිනි. වර්තමානයේ මහනුවර පිලේ ෆුල් බැක් ක්‍රීඩක නයිජල් රත්වත්ත රැස සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙවැන්නකි. “මහනුවර කියන්නේ මගේ ප්‍රියතම කණ්ඩායමයි. මහනුවර කණ්ඩායමට ක්‍රීඩා කරනව කියන්නේ හොඳම අවස්ථාවක්... ඒ අවස්ථාව ගන්න ගොඩක් ක්‍රීඩකයො බලාගෙන ඉන්නෙ....’’  

ක්‍රීඩකයින් එතරම් කැමැත්තෙන් මහනුවර කණ්ඩායමට  ක්‍රීඩා කිරීම පිළිබඳව පුහුණුකරු ෂොන් විජේසිංහ පවසන්නේ “මම වසර පහළොවක් මහනුවරට ක්‍රීඩා කළා... වසර දෙකක් නායකත්වයත් දැරුවා... දැන් වසර තුනක් පුහුණුකරු ලෙස කටයුතු කරනවා... ක්‍රීඩා සමාජය ක්‍රීඩකයින්ව හොඳට බලා ගන්නවා.... හිටපු සභාපතිවරුන් ගැනත් මේ වෙලාවෙදී මතක් කරන්න පුලුවන්. සරත් කපුවත්ත, උදය බාලසූරිය, මාලක් ප්‍රනාන්දු වැනි අය නිතරම ක්‍රීඩකයින් ගැන හොයල බැලුව.... මාව 12 වතාවක් ආබාධ වලට ලක්වෙලා තියෙනව... ඒ හැම අවස්ථාවකම විදේශයන්වලට පවා යවල ප්‍රතිකාර කළා’’  

පසුගිය දා ලීග් රග්බි තරග වලින් සමුගත් ෆාසිල් මරීජා වසර පහළොවක් අඛණ්ඩවම මහනුවර කණ්ඩායම නියෝජනය කිරීමම මහනුවර කණ්ඩායමේ ක්‍රීඩකයින් රැකබලා ගැනීම කෙතරම් ඉහළ තත්ත්වයක පවතී ද සහ ක්‍රීඩකයින් කණ්ඩායමට කැමැත්තක් දැක්වීමට හොඳම උදාහරණයකි.  

මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ මහනුවර ක්‍රීඩා සමාජයේ සභාපති නිහාල් රත්වත්ත පවසන්නේ මෙවැන්නකි. “අපි ක්‍රීඩකයින්ව නිතරම ඉහළ තත්ත්වයකින් තබා ගන්න උත්සාහ ගන්නවා... මාසදෙකකට විතර සැරයක් විදේශ පුහුණුකරුවන් ගෙන්වලා පුහුණුව දෙනවා... නිතර නිතර පුහුණු කඳවුරු පවත්වනවා... අපේ කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් විශ්‍රාම යනවට අපි කැමති නැහැ තමයි. නමුත් ඒ ස්ථානය ගන්න තව ක්‍රීඩකයො ඉන්නවා... අපි හැම ක්‍රීඩකයෙකුටම එකවගේ සලකනවා...’’

ඒ ප්‍රකාශය සියයට සියයක්ම නිවැරදිය මෙවර තරගවාරයෙ දී මහනුවර පිලේ ප්‍රබලම ක්‍රීඩකයින් වූ අනුරුද්ධ විල්ලවරායන්, බුවනෙක උඩන්ගමුව, රොෂාන් වීරරත්න සහ විශ්වමිත්‍ර ජයසිංහ වැන්නන් ආබාධ වලට ලක්ව ක්‍රීඩා නොකළත් අවසානයේ දී අපරාජිතවම ලීග් ශූරතාව ජය ගැනීමට ඔවුන් සමත් විය.  
එසේම රග්බි පිටියේ දී ඕනෑම හමුදාවක් ආක්‍රමණය කිරීමට මහනුවර ක්‍රීඩකයින් දෙවරක් නොසිතයි. ඒ අන් කිසි හේතුවක් නිසා නොව තමන්ට කුමක් වූවත් තම ක්‍රීඩා සමාජය තමන් වෙනුවෙන් සියයට සියයක් පෙනීසිටීම ඔවුන්ට ඇති විශාලම ශක්තියක් වන බැවිණි.

ක්‍රීඩකයින් පිටියේ ජය කෙහෙලි නගද්දි ඔවුන්ට අමතර ජීවය ලබාදෙන මහනුවර ක්‍රීඩා සමාජයට හිතැති ක්‍රීඩා ලෝලීන් ගැන සඳහන් නොකලොත් අසාධාරණයකි. දශක ගණනාවක සිටම මහනුවර රග්බි තරගයක් පැවැත්වෙන විට නිත්තවෙල හෝ බෝගම්බර ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් ගෙන් අතුරු සිදුරු නැතුව පිරී යයි. පාසල් රග්බි තරගයකට දහස් ගණනක ප්‍රේක්ෂක පිරිසක් අනිවාර්ය ය. මහනුවර රග්බි ක්‍රීඩාවට දුප්පත්-පොහොසත්, ජාති, ආගම් භේදයක් නැත. මහනුවර කණ්ඩායමේ සංයුතියද එසේමය. එබැවින් මහනුවරට රග්බි යනු නුවරුන් හැම දෙනාගේ ම ක්‍රීඩාවයි. තවත් අයුරකින් පවසන්නේ නම් මහනුවර ක්‍රීඩා ලෝලීන්ගේ හද ගැස්ම රග්බි පාපන්දුවයි. මහනුවර ක්‍රීඩා සමාජය නුවරුන්ගේ අභිමානයයි. මහනුවර ක්‍රීඩා සමාජයේ ප්‍රේක්ෂක සංඛ්‍යාව දෙවැනි වන්නේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රේක්ෂක සංඛ්‍යාවට පමණක් යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ.  

ඊට හොඳම උදාහරණය පසුගිය දා අවසන් වූ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ සහ තරගාවලි‍යේම අවසන් තරගය ලෙස පැවති මහනුවර සහ හැව්ලොක් අතර තරගයේ දී දක්නට ලැබුණු ප්‍රේක්ෂකාගාරය යි. එවැනි රග්බි ප්‍රේක්ෂකාගාරයක් කොළඹ දී කිසි දින දක්නට ලැබෙන්නේ නැත. එය දැකිය හැක්කේ කඳුරට සුරපුරක් බඳු නිත්තවෙල වැනි රග්බි ලෝලීන්ගේ මනදොළ සපුරන ක්‍රීඩාංගණයකදීය.

[ඩබ්ලිව්. ආර්. කුමාර]

මාතෘකා