ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා : කළමනාකරණ ධූරය පුරප්පාඩු වෙයි! | ඇස පාදන රැස


ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා : කළමනාකරණ ධූරය පුරප්පාඩු වෙයි!

 ඡායාරූපය:

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දක්ෂතා : කළමනාකරණ ධූරය පුරප්පාඩු වෙයි!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා කළමනාකරණය සඳහා පත්කළ කළමනාකරු සිමොන් විල්ස් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ බව ඔහු එම ආයතනයට ලිඛිතව දැනුම් දී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. එය පසුගිය බ්‍රහස්පතින්දා විල්ස් විසින් ක්‍රිකට් බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත.

පසුගිය කාල සීමාව පුරා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම වෙනුවෙන් ඔහුගෙන් ලද දැනුම ප්‍රමාණවත් නොවන බවට චෝදනා එල්ලවීමත් සමග ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම තිරණයට එළඹ ඇතැයි සඳහන්ය. 2016 වසරේ ජූනි 1 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ දක්ෂතා කළමනාකරු වශයෙන් ඔහු පත්වීම් ලැබූ අතර එයට පෙර එංගලන්තයේ කෙන්ට් ප්‍රාන්තයට සම්බන්ධව වගකීම් දැරුවේය. එහෙත් චන්දික හතුරුසිංහ නව පුහුණුකරු වශයෙන් වගකීම් භාරගත් විට පූර්ණ සහයෝගය පළකිරීමෙන් ඉවත්ව සිටි බවටද ඔහුට එරෙහිව චෝදනා එල්ලව ඇත. ඔහු කළමනාකරු වශයෙන් කටයුතු කළ සමයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා ප්‍රවර්ධනය වූ ආකාරයත්, නව ක්‍රීඩකයන් ගේ දක්ෂතා වර්ධනය වූ ආකාරයත් ප්‍රමාණවත් නොවන බව විචාරකයන් පෙන්වා දෙයි. මේ අතර ඔහුගේ වෘත්තීය භූමිකාව සම්බන්ධයෙන් ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ද විවේචන ඉදිරිපත් කර තිබිණි. එහිදී ඔවුන් පෙන්වා දී තිබුණේ  තරග 16ක දී ඉනිම 21 කට ක්‍රීඩා කර ශතකයක් හෝ රැස්කර නොමැති පුද්ගලයකුට ඉහළ දක්ෂතා කළමනාකරණය කිරීමේ වගකීම් බාරදී ඇති බවයි.

සිමොන් විල්ස් අදාළ තනතුර බාරගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ඇකඩමිය ඔහු යටතට පත්කළේ යොවුන් ක්‍රීඩකයන් හඳුනාගැනීමේ වගකීම්ද පවරා දෙමිනි. ඔහුගේ ප්‍රධාන වගකීම වූයේ ජාත්‍යන්තර වගකීම් බාරගැනීම සඳහා ක්‍රීඩකයන් සූදානම් කිරීමය. එමෙන්ම ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ජාතික තලයට සංවර්ධනය කිරීමද වගකීමක් ලෙස සැලකිනි. ඊට අමතරව ක්‍රීඩකයන් සම්බන්ධයෙන් වාර්තා පවත්වා ගැනීම, තේරීම් කමිටුව සඳහා ජාතික තලයට අනුයුක්ත කළ හැකි ක්‍රීඩකයන් සම්බන්ධයෙන් දැනුම් දීම ආදී වගකීම්ද ඔහුගේ රාජකාරි වපසරිය යටතට අයත්විය.

එහෙත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලි කාල සීමාව තුළ ඔහු සති තුනක් නිවාඩු ලබාගෙන තිබූ අතර එම කාලයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් විශාල පිරිසක් ආබාධවලට ලක්වීමත් සමග සිමොන් විල්ස් ගේ රාජකාරි සම්බන්ධයෙන් සංවාදයක් නිර්මාණයවී තිබිණි. ඉන් අනතුරු ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දියත්වන වත්මන් තරග සංචාරය අතරතුරදීද ඔහු නිවාඩු ලබාගනිමින් සිය රාජකාරී පැහැර හැරීමට කටයුතු කර තිබුණේය.

මාතෘකා