පොදුරද මඬුලු යන ක්‍රීඩක කණ්ඩායමේ බර අඩු වෙයි

 ඡායාරූපය:

පොදුරද මඬුලු යන ක්‍රීඩක කණ්ඩායමේ බර අඩු වෙයි

පොදු රාජ්‍ය මණඩලීයය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ක්‍රීඩක කණ්ඩායම 50-60ත් අතර සංඛ්‍යාවකට අඩු කිරීමට ජාතික තේරීම් කමිටුව ඊයේ තීරණය කළේය. ගෝල්ඩ් කොස්ට් තරගාවලිය සඳහා සහභාගිවීමට තීරණය කර තිබූ සියලු ක්‍රීඩා සංගම් සමග පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව මේ තීරණයට එළැඹි බව එම කමිටු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. තවමත් නිල වශයෙන් සංචාරය සඳහා සහභාගි කරවන්නේ කවුරුන්ද යන්න ප්‍රකාශයට පත්ව නැති අතර එය ඉදිරි දින දෙක තුළ ජාතික තේරීම් කමිටු සභාපතිවරයාගේ අනුමැතියට  ඉදිරිපත් කිරීමට නියමිතය.

ජාතික තේරීම් කමිටු සාමාජිකයකු සඳහන් කළේ එම කණ්ඩායම ඇතැම් විට 52ක් විය හැකි බවයි. කෙසේ වෙතත් එය නිල නොවන සංඛ්‍යාවක් බවද ඔහු අවධාරණය කළේය. මේ අතර එම කමිටුවට සම්බන්ධ තවත් සාමාජිකයකු පැවසූයේ රගර් තරග ඉසව්ව සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි කරවීමට මෙහිදී තීරණය වූ බවයි. ඒ අනුව මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවන විශාලතම ක්‍රීඩක කණ්ඩායමක් ලෙස රගර් ක්‍රීඩක කණ්ඩායම සලකනු ලැබේ. එය ක්‍රීඩකයින් 12 කුගෙන් සමන්විතය.

ඊට අමතරව බර ඉසිලීම සඳහාද වැඩි ක්‍රීඩක ප්‍රමාණයක් සහභාගි කරවීමට ජාතික තේරීම් කමිටුව එකඟත්වය පළකර ඇත. ඒ සඳහා ඉවහල්වී ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී වැඩි පදක්කම් දිනාගැනීමේ අවස්ථාව හිමිව ඇත්තේ බර ඉසිලීම වැනි ක්‍රීඩා ඉසව්වන් සඳහා වන හෙයිනි. ඊට අමතරව බොක්සිං වැනි තරග ඉසව්වන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වැඩි අවධානයක් යොමුව ඇතැයි සඳහන්ය. පදක්කම් හිමිවුණද නොවුණද වැඩි අවස්ථාවක් සහිත ක්‍රීඩා ඉසව්වක් ලෙස බොක්සිං ක්‍රීඩාව සැලකිය හැකිවීම ඊට හේතුවයි.

මෙම සම්මුඛ පරීක්ෂණවලදී ක්‍රීඩා සංගම් කීපයක් සංචාරය සඳහා සුදුසුකම් සම්පූර්ණ කර නොමැති බව පැවසෙයි. එහිදී ජිම්නාස්ටික්, පාපැදි, මේස පන්දු ඇතුළු ක්‍රීඩා ඉසව් කීපයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් වලට ලක්ව ඇත. විශේෂයෙන්ම බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා අවස්ථාවක් ලබානොදෙනු ඇතැයි පැවසුණද අවසන් මොහොතේදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම මත බැඩ්මින්ටන් ක්‍රීඩාව සඳහා අවස්ථාවක් ලබාදීමට තීරණය වූ බවටද තේරීම් කමිටු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

ඊයේ ජාතික තේරීම් කමිටුව හමුවේ සිදු කළ විමසා බැලීම් වලදී මූලික සුදුසුකම් නිර්නායක අවස්ථා වශයෙන් සැලකුණේ අවසන් වරට පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී දක්වා ඇති දක්ෂතා හා පදක්කමක් දිනාගැනීමට නම් සම්පූර්ණ කළ යුතු දක්ෂතාවන් බව සඳහන්. කෙසේ නමුත් කේවල තරග සම්බන්ධයෙන් මෙවැනි ස්ථාවරයකට පැමිණියද කණ්ඩායම් තරග ඉසව්වන්ගේ අත්දැකීම් පරාසය සැලකිල්ලට ගැනීමක්ද සිදුවූ බව පැවසුණේය. ඒ අනුව එක් එක් ක්‍රීඩා සංගම්වලට හිමිවන කෝටාව කවරක්ද යන්න තීරණය කිරීම සිදුකිරීමට නියමිතය.

මේ අතර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කොස්ට් හි පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා අනවශ්‍ය තරම් ක්‍රීඩකයන් නොයැවිය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම සඳහා නම් කළ පංච පුද්ගල තේරුම් කමිටුව පසුගි 25 වැනිදා සිය වාර්තාව මගින් ප්‍රකාශකර තිබිණි. ඔවුන්ගේ යෝජනාව වී ඇත්තේ එම සංඛ්‍යාව 30 -40ත් අතර සංඛ්‍යාවක් වීම ප්‍රමාණවත් බවයි.  එහිදී මේසපන්දු, බැඩ්මින්ටන්, රගර්, පාපැදි, ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා ඉසව්වන්ගේ පොදු රාජ්‍ය මණ්ඩලයිය තරග සහභාගිත්වය අදාළ පංච පුද්ගල කමිටුවේදී ප්‍රශ්න කිරීම් වලට ලක්කර තිබිණි. මෙම පංච පුද්ගල කමිටුව ප්‍රවීණ මළල ක්‍රීඩා පුහුණුකරු සුනිල් ගුණවර්ධන, හිටපු යුධ හමුදාපති ජෙනරාල් දයා රත්නායක, ඔලිම්පික් පදක්කම් ලාභි මළල ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අයි.පී. විජේරත්න, ක්‍රීඩා වෛද්‍ය එ්කකයේ අධ්‍යක්ෂ ලක්ෂ්මන් එදීරිසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළත් වුහ.

මාතෘකා